රජයේ රැකියා දීමේදී අ. උපාධිධාරීන්ට ප්‍රමුඛත්වය

රජයේ රැකියා දීමේදී අභ්‍යන්තර උපාධිධාරීන්ට ප්‍රමුඛත්වය දීමට ගත් තීරණයට රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධය

by Staff writer 11-07-2018 | 8:26 AM
COLOMBO (News 1st) - රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගැනීමේදී කැබිනට් මණ්ඩලය ගත් තීරණයට අනුව විශ්වවිද්‍යාල අභ්‍යන්තර උපාධිධාරීන්ට ප්‍රමුඛතාව ලබා දෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි. එහි අතිරේක ලේකම් අසංක දයාරත්න මහතා සඳහන් කළේ, ඒ අනුව පුහුණුවට බඳවා ගැනීම සඳහා දැනට තෝරාගෙන ඇති 5000 කණ්ඩායමේ සිටින විශ්වවිද්‍යාල අභ්‍යන්තර උපාධිධාරීන් සංඛ්‍යාව පිළිබඳව සොයා බැලීමක් සිදු කරන බව ය. එම කටයුතු මෙතෙක් අවසන් කර නොමැති බව ද අතිරේක ලේකම්වරයා පැවසුවේ ය. කෙසේ වෙතත් බඳවා ගන්නා පළමු කණ්ඩායමට අභ්‍යන්තර හා බාහිර ලෙස වර්ගීකරණයකින් තොරව විශේෂ අවශ්‍යතා ඇති උපාධිධාරීන් පිරිසක් හා එල්.ටී.ටී.ඊ. ය හා සම්බන්ධව සිට පසුව පුනුරුත්ථාපනය වූ උපාධිධාරීන් පිරිසක් බඳවා ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය. කෙසේ වෙතත් රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගැනීමේදී විශ්වවිද්‍යාල අභ්‍යන්තර උපාධිධාරීන්ට ප්‍රමුඛතාව දීමට ගෙන ඇති ක්‍රියාමාර්ගයට රැකියා විරහිත ඒකාබද්ධ උපාධිධාරීන්ගේ සංගමය විරෝධය පළ කරයි. එහි කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියන් ප්‍රකාශ කළේ, එය මානව හිමිකම් පවා උල්ලංඝනය කිරීමක් බව ය. මෙම තීරණය වෙනස් කර රැකියා විරිහිත උපාධිධාරීන්ට කඩිනමින් රාජ්‍ය සේවයේ පත්වීම් ලබා දෙන ලෙස උන්වහන්සේ ඉල්ලීමක් කළේ ය.