බෙල්ජියම පැරදූ ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයට

බෙල්ජියම පැරදූ ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයට

by Staff writer 11-07-2018 | 7:04 AM
(News 1st) - වසර 12කට පසු 3 වන වරටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හියුගෝ ලෝරිස් ප්‍රමුඛ ප්‍රංශ කණ්ඩායම සමත් විය. ඒ, තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී බෙල්ජියම් කණ්ඩායම පරාජය කරමිනි. දක්ෂයින් අතරින් අති දක්ෂයින් සොයා යන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රංශය හා බෙල්ජියම අතර පළමු අවසන් පූර්ව තරගය රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග්හිදී පැවැත්විණි. 65000කට ආසන්න පාපන්දු ලෝලීන් පිරිසකගේ සහභාගීත්වය යටතේ පැවැති මෙම තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත්තේ ය. තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට අවස්ථාවක් හිමි නොවිණි. කෙසේ වෙතත් බෙලිජියමේ මැද පෙළ ක්‍රීඩක ඊඩන් හසාඩ් තරගයේ පළමු අර්ධයේදී ගෝලයක් වාර්තා කිරීමට ප්‍රබල උත්සහයන් කිහිපයක් දැරුව ද එම උත්සහයන් සාර්ථකව ව්‍යර්ථ කිරීමට ප්‍රංශ දැල් රකින්නා වන නායක හියුගෝ ලෝරිස් සමත් විණි. තරගයේ ජයග්‍රහණයට එක් ගෝලයක් පමණක් හෝ අවශ්‍යව තිබූ මොහොතක ක්‍රියාත්මක වූ ඇන්ටෝනියෝ ග්‍රිස්මන් යොමු කළ පන්දුව සිය හිසෙන් ප්‍රතිවාදී ගෝලයට යොමු කිරීමට සැමුවල් අම්ටිටි සමත් වුණේ 1998 ශූරයින්ව නැවතත් ලෝක කුසලානයක අවසන් මහා තරගයකට ගෙන යමිනි. මෙවර තරගාවලියේ වැඩි ම ගෝල ලාභීන්ගේ දෙවන ස්ථානයේ පසුවන බෙල්ජියමේ රොමේලු ලුකාකුට පවා කණ්ඩායමට අවශ්‍ය වූ මොහොතක සිය කණ්ඩායමට ගෝලයක් එක් කිරීමට අවස්ථාවක් හිමි නොවිණි. ඒ අනුව තරගයේ අවසන් ලකුණු සටහන දැක්වුණේ, ගෝල 1 ට 0 ක් ලෙස ප්‍රංශයට තරගයේ ජය හිමි කර දෙමිනි. ප්‍රංශය 1998 වසරේදී ලෝක ශූරයින් වුණු අතර 2006 වසරේදී ඔවුන් ලෝක අනුශූරයින් බවට පත් විය. ඒ අනුව ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබා ගත් 3 වන අවස්ථාව මෙය යි. මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේදී ප්‍රංශයේ ප්‍රතිවාදීන් වන්නේ කවුරුන් ද යන්න අද එංගලන්තය හා ක්‍රොඑශියාව සමග තරගයෙන් පසු තීරණය වේ.