අමෙරිකාවෙන් චීනයට එරෙහිව 10%ක අමතර තීරු බද්දක්

අමෙරිකාවෙන් චීනයට එරෙහිව 10%ක අමතර තීරු බද්දක්

by Staff writer 11-07-2018 | 10:27 AM
(News 1st) - අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධය තීව්‍ර කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 200ක වටිනාකමින් යුත් චීන භාණ්ඩ සඳහා 10%ක අමතර තීරු බද්දක් පැනවීමට ජනපති ට්‍රම්ප් පරිපාලනය සූදානම් වේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ ආහාර නිෂ්පාදන, දුම්කොළ, ගල්අඟුරු, රසායනික ද්‍රව්‍ය, ටයර්, සුනඛ හා සත්ව ආහාර , රූපවාහිනී උපාංග, පරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ඇතුළු තීරු බදු පැනවීමට යෝජිත චීන නිෂ්පාදන භාණ්ඩ ලැයිස්තුවක් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය මගින් නිකුත් කර ඇති බව ය. සිය අසාධාරණ ක්‍රියාකාරකම් නවතා දමා වෙළෙඳපොළ විවෘත කරමින් සැබෑ ලෙස වෙළෙඳපොළ තරගයට එක්වන ලෙස වසරකට අධික කාලයක් පුරා ජනපති ට්‍රම්ප් පරිපාලනය චීනයෙන් ඉල්ලා සිටි බව අමෙරිකානු වෙළෙඳ නියෝජිත රොබට් ලයිටිසර් යෝජිත තීරු බදු නිවේදනය කරමින් කියා සිටියේ ය. ඔහු නිවේදනයක් නිකුත් කරමින් ක්‍රියා සිටියේ, එකට එක කිරීමක් ලෙස තමන්ට ප්‍රතිචාර දැක්වීමට චීනය පසුබට නොවන අතර මෙතෙක් ඒ පිළිබඳව තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව ය. ඩොලර් බිලියන 34 ක වටිනාකමින් යුත් චීන නිෂ්පාදන සඳහා අමෙරිකාව පැනවූ 25%ක ආනයන තීරු බද්ද පසුගිය සතියේ සිට ක්‍රියාත්මක වන අතර ඊට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු නිෂ්පාදන සඳහා ද සමාන වටිනාකමින් යුත් තීරු ආනයන බද්දක් පැනවීමට චීනය ද පියවර ගත්තේ ය.