රථ වාහන වැරදි 33 කට දඩ මුදල් ලබන 15 වන දා සිට ඉහළට

රථ වාහන වැරදි 33 කට දඩ මුදල් ලබන 15 වන දා සිට ඉහළට

by Staff writer 10-07-2018 | 10:17 PM

COLOMBO (News 1st) - රථ වාහන වැරදී 33 ක් සම්බන්ධයෙන්, නියම කෙරෙන ස්ථානීය නව දඩ මුදල ලබන 15 වැනි දා සිට ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

එහි රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ පොලිස් අධීකාරි ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, ඒ සඳහා වන නව දඩ පත්‍රිකා ඇතුළත් දඩ පොත් ලක්ෂයකට අධික ප්‍රමාණයක් 489 ක් වූ සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති බවයි. මෙම නව ස්ථානීය දඩ සංශෝධන ක්‍රියාත්මක වන්නේ මේ වසරේ ජනවාරි මස 15 වන දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනූවය. ඒ අනූව වේග සීමා උල්ලංඝණය වන පරිදි රිය ධාවනයට මෙතෙක් රුපියල් 1000 ක්ව පැවති දඩ මුදල රුපියල් 3000 දක්වා ඉහළ දමා ඇති අතර දින 14 ක් ඇතුළත ගෙවීමට අසමත් වුවහොත් එම මුදල දෙගුණයක් වන බව පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ ය. මාර්ග රීතිවලට අවනත නොවීම, පොලිස් නිලධාරීන්ගේ විධාන සහ සංඥාවලට අවනත නොවීම, මාර්ගයක මෝටර් රථයක් නවතා තැබීමේදී හෝ එය ළඟ නොසිටීමේදී හෝ අක්‍රියවීමක දී ගත යුතු පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගැනීම යන වැරදි සම්බන්ධයෙන් අය කරන නව දඩ මුදල රුපියල් 2000 ක් වේ. හඳුනාගැනීමේ තහඩු නොමැතිව රිය ධාවනය මෙතෙක් අය කළ රුපියල් 500 ක ස්ථානීය දඩය රුපියල් 1000 දක්වා ඉහළ දමා ඇති අතර ආදායම් බලපත්‍රය ප්‍රදර්ශනය හා නියම කරනු ලැබූ විට ඉදිරිපත් නොකිරීමට අදාළව රුපියල් 500 ක්ව පැවති දඩ මුදල ද රුපියල් 1000 දක්වා ඉහළ දමා තිබේ. ධාවනය කරන විට රියැදුරු බලපත්‍රයක් රැගෙන යාමට අසමත්වීමේ වරදට නව දඩ මුදල රුපියල් 1000 කි. ආසන පටි, ආරක්ෂිත හිස් වැසුම් පැළඳීම පැහැර හැරීම සම්බන්ධයෙන් වූ වරදට 15 වන දා සිට අය කරන දඩය රුපියල් 1000 කි. මාර්ග සංඥාවලට අවනත නොවීම සම්බන්ධයෙන් ලබන 15 වන දා සිට අය කරන ස්ථානීය දඩය රුපියල් 1000 ක් බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය.