හම්බන්තොට සංවර්ධනය පෞද්ගලික සමාගමකට

හම්බන්තොට සංවර්ධනය පෞද්ගලික සමාගමකට - අගමැති සිංගප්පූරුවේදි කියයි

by Staff writer 09-07-2018 | 9:20 PM

COLOMBO (News 1st) - 6 වන පුරවර සමුළුව ජාත්‍යන්තර ජල සතිය හා පිරිසිදු පරිසර සමුළුව යන ජත්‍යන්තර සමුළුවල සමාරම්භක සැසිවාරය අද පැවැත් විය.

එහි ප්‍රධාන දේශනය පැවැත්වූයේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. සිංගප්පූරුවේ සෑන්ඩිස් එක්ස්පෝ හා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී අද ආරම්භ වුණු මෙම සමුළුව රටවල් 135 ක් නියෝජනය කරනු ඇත. සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආර්ථික හා සමාජ ප්‍රතිපත්ති පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය තර්මන් ශන්මුගරත්නම්, අන්ද්‍රා ප්‍රදේශ ප්‍රධාන අමාත්‍ය චන්ද්‍රබාබූ නායිදු, සමුළු සභාපති මහාචාර්ය ටොමී කෝ යන මහත්වරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශනයේ තේමාව වූයේ "අනාගත ජනජීවි හා තිරසර නගර – මානව ක්‍රියාකාරකම් තුළින් මතුවන අභියෝග" යන්නයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනය සුබානා ජුරොං ආයතනය වෙත ලබාදීමට සැලසුම් කරන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය. සමුළුව සඳහා මෙරට නියෝජනය කරමින් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් ද එක් ව සිටි.