මිලියන 50ක හෙරොයින් සමග පකිස්ථානුවෙක් කටුනායකදී කොටු

by Sagarika Chathumali 09-07-2018 | 10:15 AM
COLOMBO (News 1st) : රුපියල් මිලියන 50කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් දිවයින රැගෙන ආ පකිස්ථාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ, ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබී ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සැකකරුගේ ගමන් මල්ලේ රහසිගත පතුලක සඟවා, හෙරොයින් තොගය දිවයිනට රැගෙන විත් ඇති බවයි. හෙරොයින් තොගයේ බර කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 186කි. පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට අද පෙරවරු 7 .30ට පමණ මොහු දිවයිනට පැමිණ තිබේ. සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.