ගත වූ පැය 24 තුළ පුද්ගල ඝාතන 5 ක්

ගත වූ පැය 24 තුළ පුද්ගල ඝාතන 5 ක්: කොළඹ නාගරික මන්ත්‍රී ඝාතනයේ සැකකරුවන් සොයා පරීක්ෂණ

by Staff writer 09-07-2018 | 7:41 PM

COLOMBO (News 1st) - අද උදෑසන හෙට්ටිවීදියේ සිදු වූ වෙඩි තැබීමකින් කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් මිය ගොස් තිබේ.

ඊයේ රාත්‍රී 8.00 න් ආරම්භ වූ පැය 24 තුළ වාර්තා වූ 5 වැනි පුද්ගල ඝාතනය මෙයයි. කොළඹ හෙට්ටිවීදිය, ආදිවාල් විදීයේදී වෙඩි ප්‍රහහාරයට ලක් ව මියගොස් ඇත්තේ කොළඹ නගරසභාවේ නාගරික මන්ත්‍රී ක්‍රිෂ්ණා හෙවත් ක්‍රිෂ්ණපිල්ලේ ගිරුබානන්දන් මහතායි. 40 හැවිරිදි ඔහු, ඊයේ අභාවප්‍රාප්ත වූ හිටපු නාගරික මන්ත්‍රී වේලනි වේනියන් මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවීම සඳහා උදෑසනම සිය වෙළෙඳසැළට පැමිණ තිබුණි. ඒ මොහෙතේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති අතර සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ක්‍රිෂ්ණපිල්ලේ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත. ක්‍රිෂ්ණා හෙවත් ක්‍රිෂ්ණපිල්ලේ ගිරුබානන්දන් මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේදී නවෝදය ජනතා පෙරමුණ නැමැති ස්වාධීන කණ්ඩායමෙන් තරග කළේ ය. ප්‍රතිශත ක්‍රමයට අනූව මෙම ස්වාධීන කණ්ඩායමට මන්ත්‍රී ආසන දෙකක් හිමි වූ අතර ඉන් එකක් ක්‍රිෂ්ණපිල්ලේ මහතාටත් අනෙක් ආසනය සුමීර පීරිස්ටත් හිමි විණි. සූමීර පීරිස් යනු, දැනට එංගලන්තයේ ජීවත්වන ලාල් පීරිස් හෙවත් කුඩු ලාල් නැමැත්තාගේ වැඩිමහල් පුත්‍රයා ය. සුමීර පීරිස්ගේ නිව්න් සොහොයුරා වන සමීර පීරිස් ද මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කළ නමුත් ඔහුට මන්ත්‍රී ආසනයක් හිමිවූයේ නැත. මේ අතර හෙට්ටිවීදියේ සිට මීටර් 800 ක් දුරින් පිහිටි ජම්පටා වීදියේ 131 වත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු විය. ඊයේ රාත්‍රී 8.15 ට පමණ සිදුව ඇති වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එලිසබෙත් පෙරේරා නැමැති 50 හැවිරිදි කාන්තාවක්, ඇගේ සැමියා වන 58 හැවිරිදි සෙල්ලයියා සෙල්වරාජ් සහ තව ත් පුද්ගයන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී කාන්තාව සහ ඇගේ සැමියා මියගොස් ඇති අතර ඔවුන් ජම්පටා වීදියේ, ආහාර වෙළෙඳසැළක් පවත්වාගෙන ගිය යුවළකි. පසුගිය ජූනි 17 වැනි දා ද 131 වත්තේ වෙඩි තැබීමක් වාර්තා වූ අතර කරුපයියා පලනි ගනේෂ් තැමැති අයෙක් එහිදී බරපතළ තුවාල ලැබුවේ ය. ඊයේ රාත්‍රියේ මියගිය අඹුසැමි යුවළ ගනේෂ්ට වෙඩි තැබූ සිද්ධිය දැක ඇති බවත් අදාළ නඩුවට සාක්ෂි නොසැපයීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර විරසකයක් ඇති වූ බවත් ප්‍රදේශවාසීන් පැවසීහ. ගනේෂ් නැමැත්තාගේ බිරිඳ ද මීට වසර 3 කට පෙර යම්කිසි පිරිසක විසින් ඝාතනය කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි. මීට අමතර කිරිබත්ගොඩ නාහේන ප්‍රදේශයේ අතුරු මාර්ගයක අතහැර දැමු ත්‍රිරෝද රථයක තිබී තියුණ ආයුධයකින් සිදුකළ කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් අද උදෑසන හමු විය. ඝාතනයට ලක්වී ඇත්තේ නාහේනවත්ත හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ධනුෂ්ක තරංග ගුණරත්න නැමැති තිදරු පියෙකි. අද අලුයම 3.00 ට පමණ ඔවුන්ගේ නිවසට කඩාවැදී ඇති මුහුණු ආවරණ කරගත් තිදෙනෙකු බිරිඳ හා දරුවන් බියගන්වා පියා ඝාතනය කර තිබේ. ඉන්පසු ඔහුගේ මළ සිරුර ඔහුටම අයත් ත්‍රිරෝද රථයේ දමාගෙන ගොස් නිවසට කිලෝමීටරයක පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක දමාගොස් ඇති බව පොලීසිය පැවසුවේ ය. පොලීසිය පැසුවේ, මිය ගිය පුද්ගලයා වත්තල හැදෑල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරෙකු ලෙස කටයුතු කර ඇති බවයි. මේ අතර හැටන්, බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ කෙසෙල්ගමුව ඔයට ජලය සැපයෙන ඇළ මාර්ගක තිබී නාදුනන කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ. වයස අවුරුදු 30 ක් පමණ වන තරුණියක් මෙලෙස මියගොස් ඇති අතර පොලීසිය සැකකරන්නේ ඇය ඝාතනය කර ඇළට ගෙනවිත් දමා ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නෝවුඩ් පොලීසිය විසින් ක්‍රියාත්මක කෙරේ.