හිරේ ඉදන් සුසේයි මෙහෙය වූ මහා පරිමාණ කුඩු ජාවාරම...

by Sagarika Chathumali 08-07-2018 | 9:26 PM

COLOMBO (News 1st): රුපියල් මිලියන 1248 ක වටිනාකමකින් යුත් හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දින  7 ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ.

ඒ, එම සැකකරුවන් අද පස්වරුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ රාත්‍රී කළුබෝවිල සහ බත්තරමුල්ල සුභූතිපුර ප්‍රදේශවල කළ වැටලීම්වලදී රුපියල් මිලියන 1248 ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 103ක් සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ ය. මෙය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් ගොඩබිමකදී අත්අඩංගුවට ගනු ලැබූ වැඩි ම හෙරොයින් තොගය ද මෙය වේ. ඊයේ රාත්‍රි 8.00 ට පමණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළුබෝවිල ප්‍රතිබිම්බාරාම මාවතේදී ජීප් රථයක් පරීක්ෂා කර තිබූ අතර එහිදී හෙරොයින් පාර්සල් 30 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්විය. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත බත්තරමුල්ල සුභූතිපුර පිහිටි නිවසක් පරීක්ෂාවට ලක් කෙරිණ. එහි තිබී හෙරොයින් පාර්සල් 66 ක් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සමස්ත හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 103යි ග්‍රෑම් 948කි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, එක් සැකකරුවෙකු 29 හැවිරිදි මොහොමඩ් සුහයීබ් මොහොමඩ් මාහීර් නමැත්තා බව ත් අනෙක් සැකකරු 40 හැවිරිදි චතුරු ජයශාන්ත නමැති ජීප් රථයේ රියැදුරු බව ත් ය. පොලීසිය පැවසුවේ, වැලිකඩ බන්ධනාගාරයේ දැනට මරණ දඬුවම නියම වී සිටින ධර්මරාජා සුසේන්ද්‍රන් හෙවත් 'සුසේයි' මෙම හෙරෝයින් ජාවාරම මෙහෙයවා ඇති බවට විමර්ශනවලදී තොරුතුරු හෙළි වී ඇති බවයි.

''මේ සුසෙයි කියන පුද්ගලයා නිතරම දුරකතනයෙන් සම්බන්ධ වෙනවා අර ඊයේ අත්අඩංගුවට ගත්ත සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් වන මෙහොමඩ් මාහින් සමග.ඊයේ අත්අඩංගුවට ගත් හෙරොයින් ලංකාවට ගේන්නේ සහ මේ සිද්ධිය සැලසුම් කරලා තියෙන්නේ, මේ මරණ දඩුවමට ලක් වෙලා වැලිකඩ බන්ධනාගරයේ ඉන්න සුසේයි විසින් බවට විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තියනවා''

ඔහු හෙරොයින් කිලෝ 2ක් සහ ග්‍රෑම් 250ක් සමග අත්අඩංගුවට පත් සුසේයි 2017 වසරේදී මරණ දඬුවම නියම වූ සිටින සිරකරුවෙකි. මේහිදී බන්ධනාගාරය තුළ සිට දුරකතනයෙන් සම්බන්ධ මෙවන් ජාවාරම් මෙහෙය වන්නේ කෙසේ දැයි, මාධ්‍යවේදියෙකු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසා සිටියේ ය. ඊට පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

''ඒක බන්ධනාගාර නිලධාරීන් සමගත් විමසිය යුතු ප්‍රශ්නයක්. නමුත් මේ වෙද්දි ඒක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තියනවා.ඒක අපි පිළියම් යෙදිය යුතු දෙයක්. ඒක බන්ධනාගාර නිලධාරීන්ටත් දැනුම් දීලා ඒ අය සමගත් සංකච්ඡා කරනවා"