ගුහාවක සිරවූ ළමුන්ගෙන් ළමුන් දෙදෙනෙක් බේරා ගැනේ

තායිලන්තයේ ගුහාවක සිරවූ ළමුන්ගෙන් ළමුන් දෙදෙනෙක් බේරා ගැනේ

by Staff writer 08-07-2018 | 6:03 PM

තායිලන්තයේ ජලයෙන් පිරුණු ගුහාවේ සිරවූ ළමුන් 12 දෙදෙනාගෙන් පළමු ළමුන් දෙදෙනා මුදාගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කිමිදුම්කරුවන් විසින් ගුහාවෙන් පිටතට ගෙන ආ පළමු ළමුන් දෙදෙනා මේ වනවිට වෛද්‍ය පරීක්ෂාවන්ට ලක් කෙරෙන බවයි. පසුව ඔවුන් ආසන්නතම රෝහල වෙත ගෙනයාමට නියමිත වේ. කෙසේ වෙතත් මෙම මුදාගැනීම සම්බන්ධයෙන් තායිලන්ත රජය මෙතෙක් කිසිදු නිවේදනයක් නිකුත්කර නොමැත. තායිලන්තයේ ජලයෙන් පිරුණු ගුහාවක සිරවූ ලමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු මුදාගැනීමේ බිහිසුණු මෙන් ම අභියෝගාත්මක මෙහෙයුම ආරම්භ වූයේ අද පෙරවරුවේදීයි. දරුවන් බේරා ගැනීම සඳහා ජාත්‍යන්තර කිමිඳුම් විශේෂඥයින් 13 දෙනෙකු සහ තායිලන්ත නාවික හමුදා සීල් සෙබළුන් 05 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙහෙයුම ආරම්භ කළේ ය. ලොව ප්‍රමුඛ පෙළේ උමං කිමිදුම්කරුවන් මෙහෙයුම සඳහා සහභාගිවී සිටින අතර ඉන් බහුතරයක් යුරෝපීය ජාතිකයින් ය. කිලෝමීටර් 04 ක පමණ දිගින් යුත් උමං සහිත ගුහාවෙන්, පළමු දරුවා බේරා ගෙන පොළොව මතුපිටට රැගෙන ඒම සඳහා පැය 11ක කාලයක්ගතවනු ඇතැයි තායි බලධාරීන් සඳහන් කර තිබේ. සහන සේවා මෙහෙයුමට සම්බන්ධව සිටින ඕස්ට්‍රේලියානු වෛද්‍යවරයෙකු ඊයේ රාත්‍රියේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කළ අතර පසුව ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම අද දිනයේ ක්‍රියාත්මක කිරීමට තායිලන්ත බලධාරීන් තීරණය කළහ. ඒ, ඉදිරි දිනවල ගුහාව ආශ්‍රිත ප්‍රදේශයට තද මෝසම් වැසි ලැබීය හැකි බවට කාලගුණ අනාවැකි පළවීම හේතුවෙනි. අධික වැසි ලැබුණහොත්, උමං සහිත මෙම භූගත ගුහාවේ ජල ගැලීම් තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බැවින් ඉන් ජලය පිටතට පොම්ප කිරීම අසීරු වනු ඇතැයි තායිලන්ත බලධාරින් ප්‍රකාශ කළහ. ගුහාවේ සිරව සිටින දරුවන්ගෙන් කිසිවෙකු කිමිදීමට නොදැනීම සහ ඇතැම් අයට පිහිනීමට ද නොහැකිවීම ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම දුෂ්කරවීමට හේතුවී තිබේ. මෙම අවදානම් සහගත මෙහෙයුමේ සාර්ථකත්වය පිළිබඳ මෙතෙක් තායිලන්ත රජය නිල ප්‍රකාශයක් නිකුත්කර නැතත්, ගලවාගැනීමේ මෙහෙයුමේ විස්තර ප්‍රකාශයට පත්කිරීමට තායිලන්ත රජය පියවර ගනු ලැබීය. එහි දැක්වෙන්නේ පලපුරුදු කිමිදුම්කරුවන් දෙදෙනෙකු ගුහාවේ සිරව සිටින එක් දරුවකු බැගින් පිටතට රැගෙන ඒමට නියමිත බවයි. මේ වනවිටත් ගුහාව පිහිටි ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් ලැබෙන් ඇති අතර ගුහාවේ සිරව සිටින දරුවන් මුදාගැනීම අතිශය දුෂ්කර ක්‍රියාවක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය.