ජපානයේ ගංවතුර සහ නායයාම්වලින් 51 ක් මරුට

ජපානයේ ගංවතුර සහ නායයාම්වලින් 51 ක් මරුට

by Staff writer 08-07-2018 | 12:01 PM
COLOMBO (News 1st) - ස්වභාවික විපර්යාස වලින් නිරන්තරයෙන් පීඩාවට පත්වන ජපානයට බලපා ඇති ගංවතුර සහ නායයෑම් වලින් මියගිය සංඛ්‍යාව 51 ක් දක්වා ඉහළ ගොස් තිබේ. පුද්ගලයින් 44 දෙනෙකු සිටින්නේ අතුරුදන් වූවන්ගේ ලැයිස්තු වලයි. පුද්ගලයින් ලක්ෂ 20 කට ආසන්න පිරිසක් නිවාසවලින් ඉවත් කර ඇති බව ජපාන NHK රූපවාහිනිය සඳහන් කළේය. හිරෝෂිමාව ඇතුළු ජපානයේ බටහිර ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණයෙන් නිවාස සහ ගොඩනැගිලි දහස් ගණනක් විනාශ වී තිබේ. ඊයිම් සහ කොචි ප්‍රදේශවලටත් මධ්‍යම ජපානයටත් ඉදිරියේදී අධික වැසි ඇති විය හැකි බවට එරට කාලගුණ බලධාරීන් තවත් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත්තේ විපතට පත් ජනතාව තවත් භීතියට පත් කරමිනි. ගතවූ පැය 3 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ උවාජිමා නගරයටයි. එය මිලිමීටර 364 ක අගයකි. කොචි ප්‍රාන්තයේ සුකෝමා නගරයට මිලිමීටර 263 ක වර්ෂාපතනයක් ලැබී තිබුණි. විපතට පත් ජනතාවට සහන සැලසීමට වර්ෂාවෙන් බාධා එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. බටහිර කලාපය ජලයෙන් වැසී යද්දී, ටෝකියෝ නුවර ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇත්තේ ජපන් වැසියන් කබලෙන් ලිපට ඇද දමමිනි. එහි ප්‍රබලත්වය සටහන් වුණේ මැග්නිටියුට් ඒකක 6 ක් ලෙස ය. භූ කම්පනයත් සමඟ නිවාස සහ ගොඩනැගිලි විනාඩි කිහිපයක් යම් සෙළවීමකට ලක්ව තිබුණි. කෙසේ වෙතත් ජනතාවට උපරිම සහන සැලසීමට පියවර ගන්නා බව, ජපාන රජය පවසයි.