ඇලෝසියස් සහ පලිසේනගෙන් සොයාගත් දුරකතන පිළිබඳ CID ය

ඇලෝසියස් සහ පලිසේනගේ සිර මැදිරියෙන් සොයාගත් දුරකතන පිළිබඳ CID යෙන් විමර්ශන

by Staff writer 08-07-2018 | 7:57 AM

COLOMBO (News 1st) - බන්ධනාගාර ගතකර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් රඳවා ඇති වාට්ටුව තුළ තිබී සොයාගත් දුරකතනවලින් ලබාගෙන ඇති ඇමතුම් පිළිබඳ දත්ත විමර්ශනය කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අදාළ සමාගම්වලින් ඊට අදාළ තොරතුරු ලබා දෙන්නැයි ඉල්ලීමක් කර ඇති බවයි. සැකකරුවන්ට එරෙහි නඩුව පසුගිය බ්‍රහස්පතින්දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට පෙන්වා දුන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවන් රඳවා සිටින H වාට්ටුව පරික්ෂා කළ බන්ධනාගාර විශේෂ නිලධාරීන් කණ්ඩායමකට එහි සඟවා තිබූ ජංගම දුරකතන 3ක් සහ සිම් කාඩ්පත් 5 ක් සොයා ගැනීමට හැකි වූ බවය. එක් ජංගම දුරකතනයක් අර්ජුන් ඇලෝසියස් මහතා නිදා ගන්නා කොට්ට අතර සඟවා තිබීයදී සොයාගත් බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය. ඒ, අනුව සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් සහ මැගසින් බන්ධනාගාර අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් ද විශේෂ විමර්ශන ක්‍රියාත්මක බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය. පරීක්ෂණ වාර්තා මත පදනම්ව ඔවුන් වෙනත් වාට්ටුවකට හෝ බන්ධනාගාරයකට මාරු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණය කර බව ද තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.