රිය අනතුරු 5කින් පුද්ගලයින් 5ක් මරුට

රිය අනතුරු 5කින් පුද්ගලයින් 5ක් මරුට

by Staff writer 07-07-2018 | 11:36 AM

COLOMBO (News 1st) - ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ, තලංගම, වැලිපැන්න, එරාවුර්, කැබිතිගොල්ලෑව සහ බෙලිඅත්ත පොලිස් බල ප්‍රදේශවල එම රිය අනතුරු සිදුව ඇති බව ය. බොරුල්ල - කඩුවෙල මාර්ගයේ තලංගම ඩිපෝව අසලදී ලොරියක් හා යතුරු පැදියක් ගැටිමෙන් 38 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියේය. පොලිසිය සඳහන් ක‍ළේ, කැබිතිගොල්ලෑව නගරයේ බස් රථයකට යටවීමෙන් අද අලුයම යකාවැව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු මියගිය බව ය. අලුත්ගම - මතුගම මාර්ගයේ වැලිපැන්න කෝපි වත්ත ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක යතුරු පැදියක් ගැටීමෙන් 70 හැවිරිදි ලෙව්වන්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ මඩකලපුව - ත්‍රීකුණාමලය මාර්ගයේ චෙන්කලඩි ප්‍රදේශයේදීද රිය අනතුරකින් පුද්ගලයෙකු මියගිය බව ය. යතුරු පැදියක පාපැදියක් ගැටීමෙන් එලෙස මියගොස් ඇත්තේ, 38 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර බෙලිඅත්ත - වලස්මුල්ල මාර්ගයේ දම්මුල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් හා ලංගම බස් රථයක් ගැටිමෙන් 57 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරු මියගොස් තිබේ.