ලෙන තුළ සිරවී සිටින දරුවන්ගෙන් දෙමව්පියන්ට ලිපියක්

තායිලන්තයේ ලෙනක් තුළ සිරවී සිටින දරුවන්ගෙන් දෙමව්පියන්ට ලිපියක්

by Staff writer 07-07-2018 | 5:01 PM

(News 1st) - තායිලන්තයේ ලෙනක් තුළ සති දෙකක කාලයක් පුරා සිර වී සිටින පිරිමි ළමුන් සිය දෙමාපියන් වෙත ලිපියක් එවා තිබේ.

ඔවුන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන් පිළිබදව දුක් නොවන ලෙස ය. තමන් ශක්තිමත්ව සිටින බව අදාළ ලිපියෙහි දැක්වේ. දරුවන් ලෙන තුළට රැගෙන ගිය 25 හැවිරිදි පාපන්දු පුහුණුකරු ද දෙමාපියන් වෙත ලිපියක් එවමින් සමාව ඉල්ලා තිබේ. තම උපරිමයෙන් දරුවන් රැක බලා ගන්නා බව ඔහු එහි දක්වා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේය. සියලු දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් සහන සේවා කණ්ඩායම් තමන්ට හොඳින් සැළකුම් කරන බවත් පාපන්දු පුහුණුකරු පවසයි. ලෙන ගවේෂණය කරමින් සිටියදී ඒ තුළට වැසි ජලය පැමිණීමෙන් මෙම පිරිමි දරුවන් 12 දෙනා සහ පාපන්දු පුහුණුකරු ලෙන තුළ සිරවූයේ ඉකුත් මස 23වනදා ය. ඔවුන් ලෙන තුළ සිරවී දින 10 කට පසු ඔවුන් සොයා ගැනීමට හැකිවූයේ බ්‍රිතාන්‍ය කිමිඳුම්කරුවන් පිරිසකටයි. එතැන් සිට තායිලන්ත සහ ජාත්‍යන්තර කිමිඳුම්කරුවන් දරුවන්ට අවශ්‍ය ඔක්සිජන්, ආහාර සහ වෛද්‍ය ආධාර සපයනු ලැබිණි. කෙසේ වෙතත් දරුවන් සිරවී සිටින ස්ථානයේ ඔක්සිජන් මට්ටම සියයට 21 සිට 15 දක්වා පහත වැටී ඇති බව එරට බලධාරීන් සඳහන් කළේය. එහෙත් දරුවන් සිටින ස්ථානය වෙත වායු රැහැනක් සාර්ථකව එලීමට සහන සේවා කණ්ඩායම් සමත්ව තිබේ. එම දරුවන් වෙත ඔක්සිජන් ටැංකි රැගෙන ගිය කිමිඳුම්කරුවෙකු යළි පැමිණීමේදී ජීවිතක්ෂයට පත්වීම මෙම සහන සේවා මෙහෙයුමේ ඇති බිහිසුණු බව පෙන්නුම් කරන බව විදෙස් වාර්තා සඳහන් කළේය. සහන සේවා කණ්ඩායම දරුවන් කඩිනමින් බේරා ගැනීම උදෙසා කාලය සමග තරගයක නිරතව සිටින අතර හෙට දිනයේ තද මෝසම් වැසි සමග ලෙන තුළට තවත් ජලය රැස්වනු ඇතැයි අනුමාන කෙරේ. දැනට දරුවන් සිටින ස්ථානයට ළඟාවීම සඳහා සහන සේවා කණ්ඩායම් ලෙනට පිටතින් සිදුරු 100ක් පමණ හාරා ඇති අතර බලාපොරොත්තු තැබිය හැකි ස්ථාන 18ක් හඳුනාගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේය. මීටර් 400 ක් පමණ ගැඹුරු ස්ථානයක් සහන සේවා කණ්ඩායම් විසින් හඳුනාගෙන ඇති අතර එම ස්ථානයෙන් දරුවන් සිටින ස්ථානයට ළඟාවිය හැකි ද යන්න මෙතෙක් පැහැදිලි නොමැත. පොළොව මට්ටමට වඩා මීටර් 600ක් පමණ ගැඹුරු ස්ථානයක මෙම දරුවන් සිරවී සිටින බවට විශ්වාස කෙරේ. ඊයේ දිනයේ දරුවන් වෙත ඔක්සිජන් රැගෙන ගිය ඩෙන්මාර්ක කිමිදුම් උපදේශකවරයෙකු වන අයිවන් කැටජික් කියා සිටියේ ලෙන තුළ ජල මට්ටම සැළකිය යුතු ලෙස අඩුවීම නිසා තම ගමන පහසු වූ බව ය. මේ අතර මෙම දරුවන් කඩිනමින් බේරා ගැනීමට හැකි වුවහොත් ජූලි 15 වනදා මොස්කව්හී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීම සඳහා සහභාගී වන ලෙස ලෝක පාපන්දු සංගමය ආරාධනා කර තිබේ.