උරුගුවේ සහ බ්‍රසීලයේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි

උරුගුවේ සහ බ්‍රසීලයේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි

by Chathuranga Rajapaksha 07-07-2018 | 7:17 AM

(News 1st) - උරුගුවේ සහ බ්‍රසීල කණ්ඩායම්වලට මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

ඒ, ප්‍රංශ සහ බෙල්ජියම් කණ්ඩායම් සමග පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලින් පරාජය වීම හේතුවෙනි. තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය ප්‍රංශ සහ උරුගුවේ කණ්ඩායම් අතර පැවැත්වුණේ රුසියාවේ නිස්නි නොව්ගොරොඩ් ක්‍රීඩාංගණයේදී ය. තරගයේ 40 වැනි මිනිත්තුවේදී ප්‍රංශය ගෝල රැස් කිරීම ආරම්භ කළ අතර ගෝල 1ට 0ක් ලෙස ඔවුන් පළමු අර්ධයේ පෙරමුණ ගැනිණි. ප්‍රංශය සිය දෙවැනි ගෝලය තරගයේ 61 වැනි මිනිත්තුවේදී වාර්තා කළේ, උරුගුවේ කණ්ඩායමට කිසිඳු ගෝලයක් රැස් කිරීමේ අවස්ථාව අහිමි කරමිනි. ඒ, අනුව ගෝල 2ට 0ක් ලෙස තරගය ජය ගත් ප්‍රංශය වසර 12කට පසුව ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසියේය. මේ අතර බෙල්ජියම සමග කසාන්හිදී පැවැති තරගයෙන් නේමාර් ප්‍රමුඛ බ්‍රසීලය පරාජය විය. බ්‍රසීලයේ ‍ෆර්නැන්ඩීන්යෝගේ අපරීක්ෂාකාරී ක්‍රීඩා විලාසය හේතුවෙන් බෙල්ජියමට ගෝලයක් හිමි වූයේ තරගයේ 13 වැනි මිනිත්තුවේදී ය. ඉන් අනතුරුව තරගයේ 31 වැනි මිනිත්තුවේදී ඩි බ්‍රොයින් බෙල්ජියම වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කළේය. තරගයේ 76 වැනි මිනිත්තුවේදී බ්‍රසීලය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය රැස් කළේ ඔගස්ටෝ. ඒ, අනුව ගෝල 2ට 1ක් ලෙස බෙල්ජියම තරගය ජය ගත් අතර ඔවුන් 1986 වසරට පසුව ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසි පළමු අවස්ථාව මෙය වේ. ඔවුන් ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසි දෙවැනි අවස්ථාව මෙන්ම 1963 වසරට පසුව බ්‍රසීලය පරාජය කළ පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි.