ETI අධ්‍යක්ෂවරුන් 4 දෙනෙකුට විදෙස් ගමන් තහනම් කෙරේ

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් අධ්‍යක්ෂවරුන් 4 දෙනෙකුට අධිකරණයෙන් විදෙස් ගමන් තහනම් කෙරේ

by Chathuranga Rajapaksha 06-07-2018 | 8:24 PM

COLOMBO (News 1st) - එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් (ETI) ආයතනයේ අධ්‍යක්ෂවරුන් 4 දෙනෙකුට විදේශගත වීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද පස්වරුවේ අධිකරණ නියෝගයක් නිකුත් කළේය.

ඒ, අනුව විදේශ ගමන් තහනම් කරමින් ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මීන්ට ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ. එම අධ්‍යක්ෂවරුන් සිව්දෙනාට නිකුත් කළ තහනම වහාම ආගමන විගමන පාලකවරයා වෙත යැවීමට කටයුතු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය. නීතිපතිවරයා කළ කරුණු දැක්වීමක් සළකා බැලු මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධ්‍යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලක් මත නීතිපති දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්විය. එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් (ETI) ආයතනය 2011 වසරේ සිට පවත්වාගෙන ගොස් ඇත්තේ මූල්‍ය නීතිවලට පටහැනි ආකාරයෙන් බව බැංකු නොවන මුල්‍ය ආයතන අධ්‍යක්ෂවරයා නීතිපති දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ල මගින් පෙන්වා දී තිබුණි.