ඇලෝසියස්ගේ සිර මැදිරියෙන් හමු වූ ජංගම දුරකතන

ඇලෝසියස්ගේ සිර මැදිරියේ තිබී ජංගම දුරකතන සොයා ගැනීම පිළිබඳව විශේෂ පරීක්ෂණ

by Staff writer 06-07-2018 | 7:04 AM
COLOMBO (News 1st) - බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් රඳවා ඇති වාට්ටුව තුළ තිබී සොයා ගත් දුරකතන සහ සිම් කාඩ්පත් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බන්ධානාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන්ට එරෙහි නඩුව ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවන් රඳවා සිටින එච් වාට්ටුව පරීක්ෂා කළ බන්ධනාගාර විශේෂ නිලධාරීන් කණ්ඩායමකට එහි සඟවා තිබූ ජංගම දුරකතන 3ක් සහ සිම් කාඩ්පත් 5ක් සොයා ගැනීමට හැකි වූ බව ය. එක් ජංගම දුරකතනයක් අර්ජුන් ඇලෝසියස් මහතා නිදා ගන්නා කොට්ට අතර සඟවා තිබීයදී සොයා ගත් බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන බව ය. ඊට අමතරව මැගසින් බන්ධනාගාර අධිකාරීවරයාගේ මූලිකත්වයෙන් තවත් පරීක්ෂණයක් ක්‍රියාත්මක ය. සොයා ගත් දුරකතන භාවිත කර ඇති ආකාරය සම්බන්ධයෙන් සහ ඒවා අදාළ සිරකරුවන් රඳවා ඇති වාට්ටුවට ලැබුණේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද විමර්ශන ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේ ය. පරීක්ෂණ වාර්තා මත පදනම්ව ඔවුන් වෙනත් වාට්ටුවකට හෝ වෙනත් බන්ධනාගාරයකට මාරු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණය කරන බව ද තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ ය.