අල්ලස් ගත් ධාවන කළමනාකරුවෙකුට වැඩ වරදියි

අල්ලස් ගත් බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුට වැඩ වරදියි

by Staff writer 06-07-2018 | 1:42 PM
COLOMBO (News 1st) - ධාවන බලපත්‍රයක් ලබා දීම සඳහා පෞද්ගලික බස් රථ හිමිකරුවෙකුගෙන් රුපියල් 10,000ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු අධි චෝදනා 08කට වරදකරු කරනු ලැබූ බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුවෙකු ලෙස කටයුතු කළ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද සිර දඬුවම් නියම කළේ ය. එහිදී විනිසුරුවරයා නියෝග කළේ, වසර 40ක බරපතල සිර දඬුවම් නියම කර එය වසර 05කින් ගෙවී යන පරිදි ලබා දීමට ය. පෞද්ගලික බස් රථ හිමිකරුට රුපියල් ලක්ෂ 05ක වන්දියක් ගෙවන ලෙසට ද එහිදී නියෝග කළ විනිසුරුවරයා එම වන්දිය නොගෙවන්නේ නම් වසර 02ක බරපතල වැඩ සහිත සිර දඬුවම් ද නියම කළේ ය. ඊට අමතරව ඔහු අල්ලස් ලෙස ලබා ගත් රුපියල් 10,000 ක මුදල දණ්ඩනයක් ලෙස අය කර ගැනීමට එහිදී නියෝග කළ විනිසුරුවරයා රුපියල් 40,000 දඩයක් විත්තිකරුගෙන් අය කර ගැනීමටත් නියෝග කළේ ය. බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් 2015 ඔක්තෝබර් 12 වන දා පෞද්ගලික බස් රථ හිමිකරුවෙකුගෙන් එකී අල්ලස ලබා ගෙන ඇතැයි චෝදනා කරමින් කේ.ඒ. රාජා අජිත් රංජිත් නමැති විත්තිකරුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා තිබිණි.