බ්‍රසීලය සහ බෙල්ජියම අද තරග බිමට

පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය අද ඇරඹෙයි

by Chathuranga Rajapaksha 06-07-2018 | 3:16 PM

COLOMBO (News 1st) - බ්‍රසීලය සහ බෙල්ජියම, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ අද රාත්‍රි තරග වදින කණ්ඩායම් වේ.

අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගී වීම සඳහා බෙල්ජියම කණ්ඩායම රුසියාවේ කසාන් වෙත පැමිණි අතර එහිදී වර්ෂාවෙන් බාධා එල්ල වුවද ඔවුන් පුහුණුවීම්වල නිරත විය. අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ඔවුන් බ්‍රසීලය පැරදවිය යුතුම වේ. ඊඩ්න් හසාඩ්, රොමේලු ලුකාකු, වින්සන්ට් කොම්පැනි ඇතුළු බෙල්ජියම් පාපන්දු ක්‍රිඩකයින් දැක බලා ගැනීම සඳහා ක්‍රීඩා ලෝලීන්ද පැමිණ සිටියේය. කණ්ඩායම් කළමනාකරු රොබේටෝ මාටිනෙස් විශ්වාසය පල කළේ, මෙම තරගයේදී බ්‍රසීලයෙන් තමන්ට දැඩි අභියෝගයක් එල්ල වනු ඇති බවටයි. ලෝක කුසලානය පස් වරක්ම දිනාගෙන සිටින බ්‍රසීලය පරාජය කර, අවසන් පූර්ව වටයට පිවිසීම එකම අරමුණ බව පුහුණුකරු මාටිනෙස් සඳහන් කළේය. බ්‍රසීල කණ්ඩායම ද ඊයේ පුහුණුවීම්වල නිරත විය. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ බ්‍රසීලය තරග කළේ E කාණ්ඩයෙනි. සුපිරි 16 දෙනාගේ වටයේදී මෙක්සිකෝව පරාජය කරමින් බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබිණි. බ්‍රසීලයේ සුපිරි ක්‍රීඩක නේමාර්, බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති ක්‍රීඩකයෙකි. ඔහු පවසන්නේ කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙන බව ය‍. 1994 වසරේ සිට පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලි සියල්ලෙහිදීම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට බ්‍රසීලය සමත් විය. බ්‍රසීලය අවසන් වරට ලෝක කුසලානයක් දිනා ගත්තේ 2002 වසරේදී ය. බ්‍රසීල - බෙල්ජියම අර්ධ අවසන් පුර්ව තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 11.30 ට ආරම්භ වේ.