පාර්ලිමේන්තුවේ අශෝභනව හැසිරුණු මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ

by Staff writer 05-07-2018 | 1:11 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු විවාදයක් අතරතුර අශෝභන ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හරහා අදාළ විනය පරීක්ෂණය සිදු කිරීමට යෝජනාවී ඇති බවයි. ඒ අනුව ජාතික නිදහස් පෙරමුනේ, නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර යන මහත්වරුන්ට එරෙහිව එම පරීක්ෂණ මුලික වශයෙන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. විවාදය අතරතුර පාර්ලිමේන්තුවේ අශෝභන ලෙස හැසිරුණු සහ අසභ්‍ය ප්‍රකාශ සිදු කළ තව ත් මන්ත්‍රීවරුන් සිටිනවා ද යන්න සම්බන්ධයෙන් ද වරප්‍රසාද කමිටුව මගින් විමර්ශනය කරන බව ද එම ජ්‍යේෂ්ඨ ප්‍රකාශකවරයා නිව්ස්ෆස්ට් වෙත සඳහන් කර ඇත. පාර්ලිමේන්තුවේ ඇති වූ එම සිද්ධියත් සමග සෞඛ්‍යය අමාත්‍යාංශයේ ඖෂධ සම්බන්ධයෙන් වන නව රෙගුලාසි පිළිබඳ විවාදය ප්‍රමාද විය. මේ අතර පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ ඇති වූ එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සම්බන්ධ ආයතනයක් විශේෂ සමීක්ෂණයක් සිදුකර තිබේ. පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ, මහජන මතය අනුව 96% ක් අදාළ සිදුවීම හෙළා දැක ඇති බව සමීක්ෂණයෙන් අනාවරණ වී ඇති බවයි. මන්ත්‍රීවරුන් තම ගරුත්වය ආරක්ෂාවන පරිදි පාර්ලිමේන්තුවේදී කටයුතු කිරීම රටේ අභිවෘද්ධියට හේතුවන බව ද ඔහු අවධාරණය කළේ ය.