ඇලෝසියස් සහ පාලිසේන සිටි සිර මැදිරියේ සඟවා තිබූ දුරකතන හා සිම් කාඩ්පත් 5 ක් සොයා ගනී

by Staff writer 05-07-2018 | 4:50 PM

රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පාලිසේන යන මහත්වරුන් රඳවා සිටින H වාට්ටුව පරීක්ෂා කළ බන්ධනාගාර විශේෂ නිලධාරීන් කණ්ඩායමකට එහි සඟවා තිබූ ජංගම දුරකථන 3ක් සහ සිම් කාඩ්පත් 5 ක් සොයා ගැනීමට හැකි වූ බව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශ කළේ ය.

එක් ජංගම දුරකථනයක් අර්ජුන් ඇලෝසියස් මහතා නිදා ගන්නා කොට්ට අතර සඟවා තිබියදී සොයාගත් බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. මේ අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 19 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළේ ය. පර්පෙචුවල් සමූහ ව්‍යාපාරයේ සභාපති ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් 6 දෙනෙකුට විදේශගත වීම වළක්වමින් මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කරනු ලැබීය.