වසර 24 කට පසු අලුත් වූ ස්වීඩනයේ පාපන්දු ගමන

වසර 24 කට පසු අලුත් වූ ස්වීඩනයේ පාපන්දු ගමන

by Staff writer 04-07-2018 | 10:17 AM

COLOMBO (News 1st) - වසර 24 කට පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ස්විට්සර්ලන්තය පරාජය කළ ස්වීඩනය සමත් විය.

මේ අතර එංගලන්ත කණ්ඩායම මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වූයේ ප්‍රබල කොලොම්බියාව පරාජය කරමිනි. ඒ අනුව මේ වන විට මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට කණ්ඩායම් 8 ක් සුදුසුකම් ලබා අවසන් ය. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්ඩායම් 16 දෙනාගේ තරග වටයේ අවසන් තරග දෙක ඊයේ පැවැත් විණි. එහි පළමු තරගය වන ස්වීඩනය හා ස්විට්සර්ලන්තය අතර තරගය පැවැත් වූයේ රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් හීදීයි. තරගයේ පළමු අර්ධයේ ගෝල වාර්තා කිරීමට කණ්ඩායම් දෙකම අසමත් වූ අතර ස්වීඩනයට අවස්ථා කිහිපයක් හිමිවුන ද ඔවුන් එම අවස්ථා සාර්ථක කර ගැනීමට තරම් වාසනාවන්ත වූයේ නැත. දෙවැනි අර්ධය ආරම්භවී මිනිත්තු 21 ට පසු එනම් 66 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ස්වීඩන ක්‍රීඩක ෆෝර්ස්බර්ග් ලබාගත් ගෝලයත් සමග ස්වීඩනයට මෙවර තරගාවලියේ රැඳී සිටීමේ වාසනාව හිමිවිණි. ස්වීඩනයේ එමිල් ෆෝර්ස්බර්ග් චතුරශ්‍රය පිටත සිට එල්ල කළ ප්‍රහාරයක් ගෝල රාමුව තුළට යොමුවූයේ ස්විට්සර්ලන්ත ගෝල රකින්නා වූ යෑන් සෝමර්ට කිසිදු අවස්ථාවක් හිමි කර නොදෙමිනි. අනතුරුව ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයින් ප්‍රබල උත්සහයක් යෙදුව ද ගෝලයක් වාර්තා කර ගැනීමට ඔවුන්ට අවස්ථාවක් හිමිවුනේ නැත. කෙසේ වෙතත් ආබාධ සඳහා ලබාදුන් අතිරේක කාලයේදී ගෝලයක් සඳහා ඉදිරියට පැමිණ සිටි ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයින් පසු කරමින් ස්වීඩන් ක්‍රීඩකයෙකු පන්දුවත් සමග ධාවනයේ නිරත වූ අතර දඬුවම් පහර චතුරශ්‍රය ආසන්නයේදී ඔහුට බාධා කළ ස්විට්සර්ලන්තයේ මයිකල් ලෑන්ග් හට රතු කාඩ්පතක් නියම කිරීමට විනිසුරු තීරණය කර තිබේ. කෙසේ වෙතත් ගෝල 1 ට 0 ක් ලෙස ස්විට්සර්ලන්ත කණ්ඩායම පරාජය කරමින් වසර 24 කට පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ස්වීඩනය සමත් විය. අවසන් වරට ස්වීඩනය 1994 වර්ෂයේදී බල්ගේරීයාවට එරෙහිව තෙවන ස්ථානය සඳහා පැවැති තරගයෙන් ගෝල 4-0 කින් ජය ගැනීමට ඔවුන් සමත් විණි.