නජිබ් රසාක් අධිකරණය හමුවට

මලයාසියානු හිටපු අගමැති නජිබ් රසාක් අධිකරණය හමුවට

by Staff writer 04-07-2018 | 9:17 AM

අත්අඩංගුවට පත් මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජිබ් රසාක් අද උදෑසන ක්වාලාලම්පූර් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

ඒ, මලයාසියානු සංවර්ධන අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන ගණනක් අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළවයි. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් හිටපු අග්‍රාමාත්‍යවරයා දූෂණ විරෝධි කොමිසම් මූලස්ථානයේ සිට අධිකරණය වෙත රැගෙන ආ බවය. මලයාසියානු නීතිපති ටොමී තෝමස් නජීබ් රසාක්ට එරෙහි නඩුවෙහි පැමිණිල්ල මෙහෙයවීමට ද නියමිත වේ. මලයාසියානු වාර්තාවන්හි දැක්වෙන්නේ හිටපු අගමැතිවරයාට එරෙහිව චෝදනා රැසක් එල්ල වන බවයි. මලයාසියානු සංවර්ධන අරමුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 10.6 ක මුදලක් නජීබ් රසාක්ට අයත් විදේශ බැංකු ගිණුමකට බැරකර තිබීම ඔහුට එල්ල වන එක් චෝදනාවකි. මලයාසියානු සංවර්ධන අරමුදලෙන් අතුරුදන් වූ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක් බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මෙම සැකකටයුතු ගනුදෙනු සිදුකෙරුණු සමාගම් හා බැංකු සම්බන්ධයෙන් ද විමර්ෂකයින්ගේ අවධානය යොමුව තිබේ.