ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් තාප්පයකින් වැටී මරුට

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් තාප්පයකින් වැටී මරු දකී

by Sagarika Chathumali 04-07-2018 | 6:59 PM
චීනයේ දැවැන්ත ව්‍යාපාරිකයෙකු වන වැන්ග් ජිඈන් ප්‍රංශයේ සංචාරයක නිරතව සිටින අතරතුර හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ලෝක ව්‍යාප්ත චීන HNA සමූහයේ සම නිර්මාර්තෘ මෙන්ම සභාපතිවරයා ද වන වැන්ග් මිය යන විට 57 වන වියේ පසු විය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සංචාරය අතරතුර ප්‍රංශයේ ප්‍රොවන්ස්හි තාප්පයක් උඩ ඡායාරූපයක් සඳහා පෙනී සිටීමට යාමේදී ඔහු ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ප්‍රංශ පොලීසිය පවසන්නේ, අඩි 50ක් පමණ උස තාප්පයකින් සිය පවුලේ සාමාජිකයින් ද බලා සිටියදී ඔහු මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බවයි. වැන්ග් සභාපතිත්වය දරන HNA සමූහය ගුවන්, සංචාරක සහ මූල්‍යමය ක්ෂේත්‍රයේ ලොව විශාලතම ආයතන අතරින් එකක් වන අතර වැන්ග් ලෝක ව්‍යාප්ත බැංකු සමූහ, හෝටල් සමූහ මෙන්ම ලන්ඩනයේ පිහිටි skyscraperගොඩනැගිල්ල ඇතුළු වත්කම් රැසක කොටස් හිමිකරුවෙකු ද වේ. ලෝක ව්‍යාප්ත මෙම HNA සමූහයේ ඔහු යටතේ සේවයේ නියුතු සේවක සංඛ්‍යාව 400,000කට අධික ය. HNA ආයතනය සිය ප්‍රධානියාගේ හදිසි වියෝව ශෝකය පළ කරමින් එහි වෙබ් අඩවියේ අළු පැහැ ගන්වා ඇති අතර ආයතනය නිවේදනය කරන්නේ, වැන්ග් අතිදක්ෂ නායකයෙකු මෙන් ම ආදර්ශමත් නායකයෙකු බවයි. කෙසේ වෙතත් ඔහුගේ මරණය සම්බන්ධයෙන් සැක පළ කිරීමක් සිදුකර නොමැති අතර හදිසි අනතුරක් සේ සලකා පශ්චාත් මරණ පරීක්ෂණය ද සිදු කර තිබේ.