පර්පෙචුවල් නිසා රාජ්‍ය ආයතන 5කට බිලියන ගණනක අලාභයක්

by Sagarika Chathumali 04-07-2018 | 7:52 PM
COLOMBO (News 1st) : මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් හෙට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් නොකරන බව ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය. ඒ තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා අර්ජුන් ඇලෝසියස් හා කසුන් පාලිසේන යන සැකකරුවන් ගොනු කර තිබු ප්‍රතිශෝධන අයදුම්පත් කැඳ වු අවස්ථාවේදීයි. ප්‍රතිශෝධන අයැදුම්පත් අද සලකා බලනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී. පද්මන් සුරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේයි. අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් හෙට දිනයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ද ඇප ඉල්ලීමක් කිරීමට සුදානම් වන්නේ දැයි මෙහිදී අධිකරණය විමසා සිටියේ ය. එහිදී ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා කියා සිටියේ හෙට දිනයේ ඔහු වෙනුවෙන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ඉල්ලීමක් නොකරන බවයි. විත්ති පාර්ශ්වයේ කරුණු දැක්වීම ලබන 18 වැනි දිනට කල් තැබී ය. මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් දිර්ඝ ලෙස නීතිමය කරුණු ගෙන හැර දැක්වී ය. මෙහිදි මහ බැංකු බැඳුම්කර වෙන්දෙසි දෙකකදී පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් නිත්‍යනූකූල නොවන ආකාරයෙන් වත්කම් ඉපයීම නිසා රාජ්‍ය ආයතන පහකට සිදුවී ඇති රුපියල් බිලියන 8.5 ක අලාභය එම සමාගමෙන් අයකර ගැනීම සඳහා සිවිල් නඩු 05 ක් ගොනුකර ඇතැයි යසන්ත කොදාගොඩ මහතා අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය. ලංකා බැංකුව, සේවක අර්ථසාධක අරමුදල, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු රජ්‍ය ආයතන 05 ක් වෙනුවෙන් එම නඩු කොළඹ දිසාඅධිකරණය හමුවේ පවරා ඇති බවද අභියාචනාධි කරණය හමුවේ අනාවරණ විය.