by Sagarika Chathumali 04-07-2018 | 5:34 PM
COLOMBO (News 1st) : හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මෙම නඩුව ගොනු කර ඇත්තේ පා වෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා ඇවන්ට්ගාඩ් මෙරිටයිම් සර්විසස් සමාගමට අවසර ලබාදීම මගින් රජයට රුපියල් කෝටි 1140 ක අලාභයක් කරන ලදැයි චෝදනා කරමිනි.
ගෝඨාභය රාජපක්ෂ මහතා පෙත්සමක් ගොනු කරමින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ එම චෝදනාවලින් තමන් නිදොස් කර නිදහස් කරන ලෙසයි.
අභියාචනාධිකරණය මගින් පෙත්සම විභාග කර අවසන් වනතුරු එම අතුරු තහනම් නියෝගය වලංගු වනු ඇති.
අචල වෙන්ගප්පුලි සහ අර්ජුණ ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම අභියාචනය අද සලකා බැලිණ.
ගෝඨාභය රාජපක්ෂ මහතා, මහාධිකරණය හමුවේ ගොනු කර ඇති ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම මගින් නීතිමය ඌණතාවයක් ඇති බව බැලූ බැල්මට පෙනී යන බව නිගමනය කළ අභියාචනාධිකරණය මෙම නියෝගය කළේ ය.
ලබන 26 වන දා මේ සම්බන්ධයෙන් විරෝධතා ගොනු කරන ලෙස නීතිපතිවරයාට අධිකරණය නියෝග කර සිටියේ ය.