ඛනිජ තෙල් සංස්ථාවේ ණය ගෙවීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම එකඟ වෙයි

by Staff writer 04-07-2018 | 12:56 PM

COLOMBO (News 1st) - ගුවන් යානා ඉන්ධන වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාවට අයවිය යුතු මුදලින් ඩොලර් මිලියන 05 ක මුදලක් ඉදිරි සතියේ ගෙවීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම එකඟ වී තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ නීල් ජයසේකර මහතා සඳහන් කළේ, සාර්ථක සාකච්ඡාවකින් පසු ඉන්ධන සඳහා ගෙවීමට ඇති සෙසු ණය මුදල් කොටස් වශයෙන් ගෙවීමටත් ශ්‍රීලංකන් ගුවන් සමාගම එකඟ වූ බවයි. ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන් යානා ඉන්ධන මිලදී ගැනීම වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 87.05 කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 13.45 ක් වේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසූවේ, ඉන් ඩොලර් මිලියන 05 ක් ඉදිරි සතිය තුළ ගෙවීමට ශ්‍රී ලංකා ගුවන් සමාගම එකඟ වූ බවයි. ඉතිරි ණය පියවීම සඳහා පෞද්ගලික බැංකුවකින් ශ්‍රීලංකන් ගුවන් සමාගම ණය මුදලක් ගැනීම නියමිත ය. ඒ සඳහා වන යෝජනා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අදාළ සමාගම මගින් යොමු කිරීමට සැලසුම් කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය. එම ණය ලබාගෙන ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති ඉතිරි ණය මුදල පියවීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම තීරණය කර ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ. දෙපාර්ශවය අතර වූ සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ ශ්‍රීලංකන් ගුවන් සමාගමට අවශ්‍ය බන්ධන අඛණ්ඩව ලබාදීමටයි.