ආණ්ඩුවක් ද මේ පාණ්ඩුවක් ද?

by Sagarika Chathumali 04-07-2018 | 9:38 PM
COLOMBO (News 1st) : මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් සඳහා ජපාන බැංකුවකින් ණය ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැවසුවේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා කි‍ලෝමීටර් 32.5ක කොටස ඉදිකිරීමට යෙන් බිලියන 100ක අරමුදලක් සලසා ගැනීමට ජපන් බැංකුවක් සමඟ ගිවිසුමකට එළඹීමට අගමැති කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දුන් බවයි. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම ණයට ගත් ඉන්ධන සඳහා රුපියල් බිලියන 13 .45ක මුදලක් ඛණිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතුව තිබේ. ඉන් රුපියල් මිලියන දොලොස්දාස් හයසිය පනහක මුදල ගෙවීම සඳහා පෞද්ගලික බැංකුවකින් ණය මුදලක් ලබාගැනීමට සමාගම සූදානම් වේ. පසුගිය ආණ්ඩුව ශ්‍රීලංකන් සමාගම ගොඩ ගැනීමට යැයි පවසමින් මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සහෝදරයා ගුවන් සමාගමේ මුල් පුටුවට පත් කළේ ය. වර්තමාන ආණ්ඩුව බලයට පැමිණීමත් සමග සමාගම ගොඩ ගැනීමට යැයි පවසමින් සුරේන් රත්වත්තේ මහතා ප්‍රධාන විධායක අසුනට පත් කළේ ය. ඔහු අගමැතිවරයාගේ උපදේශක මෙන්ම සමීප මිතුරෙකු වන චරිත රත්වත්තේ මහතාගේ සහෝදරයායි. දැන් සමාගම බිලියන ගනනින් පාඩු ලබන තත්ත්වට පත්කර කලින් විශ්‍රාම ගැනීම සදහා සුරේන් රත්වත්තේ මහතා මිලියන ගණනක වන්දියක් ඉල්ලා සිටී. සමාගම පාඩු ලබන තත්ත්වයෙන් ගොඩ ගැනීමට අසමත් වූ ප්‍රධාන විධායක ධුරයෙන් විශ්‍රාම ගැනීමට වන්දි ඉල්ලද්දී තෙල් සැපයුමත් නවතා දැමීමේ අවදානමක් පසුගිය සතියේ මතුවිය. රුපියල් බිලියන 13 ක් දක්වා ණය පදනලබාදෙන අතර එම සීමාව ඉක්මවා ඉන්ධන ලබාගැනීම නිසා සැපයුම අද සිට අත්හිටුවන බවට පසුගිය සතියේ අනතුරු ඇඟවීමක් කළේ ය. පසුගිය 2 වනදා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් , සංස්ථා ප්‍රධානීන් හා ගුවන් සමාගමේ සභාපතිවරයා ඇතුළු පිරිසක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. මේ වන විට ගෙවීමට ඇති මුළු ණය මුදලින් රුපියල් මිලියන 800 ක් ලබන සතිය තුළ පියවීමට කටයුතු කරන බව මෙම සාකච්ඡාවේදී ගුවන් සමාගමේ සභාපතිවරයා දැනුම්දී තිබේ. ඉතිරි ණය මුදල පෞද්ගලික බැංකුවකින් ලබාගැනීම සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගැනීමට ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතයි . මේ අතර ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතුවලදී ප්‍රායෝගික අත්විදීමට සිදුවූ කනගාටුදායක සිදුවීමක් පිළිබඳව ශ්‍රීලංකන් , මිහින් ලංකා හා කේටරින් යන ආයතනවල දූෂණ අක්‍රමිකතා පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසමේදී අද අනාවරණය විය. මිහින් ලංකා ගුවන් සමාගමේ ආරම්භක සාමාජිකාවක් වන ඉන්ග්‍රිඩ් ගුරුගේ මහත්මිය අද කොමිසමේදී සාක්ෂි ලබාදුන්නා ය. අඩු වියදම් ගුවන් සේවයක් ලෙස හඳුන්වා දුන් මිහින් ලංකා ගුවන් සමාගමේ කළමනාකාර තනතුරුවලට පත්කළ පුද්ගලයන්ගෙන් බොහෝ දෙනෙකු විශ්‍රාම වයස් සීමාව පසුකර සිටි අය බව ඇය කොමිසමේදී පැවසුවා ය. මිහින් ලංකා ගුවන් සමාගම සංස්ථාපිත කළ දිනයේ සිට ගුවන් යානා හැසිරවීම් කටයුතු සිදුකළේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමයි. 2008 වසරේදී ගුවන්යානා තරප්පු පේලි , ට්‍රොලි , ට්‍රැක්ටර් රථ හා ගමන් මලු ගුවන් යානා තුළට ඇතුළු කිරීමේ යන්ත්‍ර මිහින් ලංකා සමාගමේ ගුවන් යානා හැසිරවීම් කටයුතු සඳහා මීලදී ගෙන තිබේ. සාක්ෂීකාරිය සඳහන් කළේ, අදාළ උපකරණ ජර්මනියේ නිෂ්පාදිත නවතම උපකරණ බව තමන්ට දැනුම් දුන් බවයි . එහෙත්, අදාළ උපකරණ සියල්ල මීට පෙර භාවිතයට ගත් උපකරණ බවත් , එක් යන්ත්‍රයක් සේවාවෙන් ඉවත් කිරීමට සිදුවූ බවත් සාක්ෂිකාරිය සඳහන් කළා ය. මීට අමතරව විදුලිබල මණ්ඩලයේ ද සිදුවන්නට යන අක්‍රමිකතාවක් පිළිබඳව අනාවරණය වෙමින් තිබේ. මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියකින් තොරව ලබාගත් විදුලිය වෙනුවෙන් ඇඹිලිපිටිය පෞද්ගලික බලාගාරයට මිලියන අටසියයකට අධික මුදලක් ගෙවීම ප්‍රතික්ෂේප කළ විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකුගේ වැඩ තහනම් කර තිබේ. ඇඹිලිපිටිය පෞද්ගලික විදුලි බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සදහා තිබූ දීර්ඝ කාලීන ගිවිසුම 2015 වසරේදී අවසන් වීමෙන් පසු යළි එම සමාගම විදුලිබල මණ්ඩලය සමග ඇති කරගත් ගිවිසුම තවත් වසර 3කට දීර්ඝ කිරීමට පියවර ගත්තේ ය. විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පසුගියදා පැවසුවේ , පසුගිය වසර 2 හා මේ වසරේ මුල් කාර්තුවේ පැවති කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගත්විට නව විදුලි ජනන ධාරිතාවක් පද්ධතියට එක්කිරීමේ අවශ්‍යතාව පැනනැගුණු බවයි. කෙටි කාලීන අවශ්‍යතා මත ඇඹිලිපිටිය හා මාතර පෞද්ගලික විදුලි බලාගාර සහ සපුගස්කන්ද දැවි තෙල් පෞද්ගලික විදුලි බලාගාර වලින් විදුලිය මිලදීගැනීමට සාකච්ඡා පැවැත්වුණු බවද මණ්ඩලය පැවසීය.