විජයකලා නිසා යකා නැටූ "රට හදන තැන"

විජයකලා නිසා යකා නැටූ "රට හදන තැන"

by Staff writer 03-07-2018 | 8:34 PM

COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ බව කියන ප්‍රකාශයක් පිළිබඳව ප්‍රශ්න කිරීමත් සමග අද පාර්ලිමේන්තුව උණුසුම් විය.

වාද විවාද මැද සෙංකෝලය රැගෙනයාම උත්සහ කිරීමත් සමග රැස්වීම හෙට දිනය දක්වා කල් තැබුවේ අදට නියමිත කිසිදු කටයුත්තක් සිදු කිරීමෙන් තොරවයි. මේ වසර තුළ පාර්ලිමේන්තු රැස්වීම මේ අයුරින් පසුදිනය දක්වා කල්තැබීමට සිදු වූ දෙවන අවස්ථාව මෙය වේ. එක්සත් ජා‍තික පක්ෂයේ පා.ම, එස්. එම්.මරික්කාර්,
දැන්‍ මේ විජයකලා මහේෂ්වරන් ඇමතිතුමිය ජාති ද්‍රෝහී ව්‍යවස්ථා උල්ලංඝණ ප්‍රකාශයක් කරලා තියෙනවා. අපි ඒක හෙළා දකිනවා වගේම එයට‍ විරුද්ධ වෙනවා. මේක රජයේ මතයද එක්සත් ජාතික පක්ෂයේ මතද ඔබතුමා මොකක්ද කියන්නේ?
අධ්‍යාපන අමාත්‍ය, අකිල විරාජ් කාරියවසම්,
මෙය අපි එක්සත් ජාතික පක්ෂය විදිහට සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මම මහලේකම්වරයා විදිහට එතුමියගෙන් මම ඇහුවා දුරකතනයෙන්. එතුමිය මට කිව්වේ ඒ වෙලාවේ තිබුන හිතේ අමාරුවට ඒ දැරිවියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඒ වාගේ ප්‍රකාශයක් කර කියලා. පක්ෂයක් විදිහට එය ප්‍රතික්ෂේප කරනවා වගේම කියන්න ඕනෑ පහුගිය දවස්වල හිට්ලර්ව උදාහරණයකට අරන් මේ වාගේ නායකයෝ සමාන කරා. ඒවගේ එකක් තමයි මේකත්.
කතානායක, කරූ ජයසූරිය,
මේක වාදයක් යන්න යන්න බෑ. ඔබතුමා ඉවර කරන්න
එක්සත් ජා‍තික පක්ෂයේ පා.ම, එස්.එම්.මරික්කාර්,
නෑ.. මගේ ප්‍රශ්නය..පොයින්ට් ඔ‍ෆ් ඕඩර්.. ගරු ඇමතිතුමා එයාට හිතේ අමාරුව තියෙනවා නම් අපේ කොළොන්නාව පැත්තේ තියනවා අර අංගොඩ මානසික රෝහල එහෙට එවන්න පුළුවන්.
අධ්‍යාපන අමාත්‍ය, අකිල විරාජ් කාරියවසම්,
මම හිතන්නේ ඔබතුමාම මන්ත්‍රීතුමියට කිව්වනම් හොඳයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, විමල් වීරවංශ,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් කරලා තියෙනවා. එතුමියගේ හිතේ අමාරුවට වෙන මොනවාහරි කරගන්න කියන්න.
කතානායක, කරූ ජයසූරිය,
ඔය කරුණ හතරපස්සැරයක් කියන්න ඕනෑ නෑ
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, දයාසිරි ජයසේකර,
මම කියන්න කැමතියි එතුමියට විරුද්ධව සී.අයි.ඩී එක පරීක්ෂණයක් කරලා ගන්න තියන පියවර ගන්න ඕනෑ. ඒවගේම මේ පාර්ලිමේන්තුව එතුමියට තහනම් කරන්න ඕනෑ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, රෝහිත අබේගුණවර්ධන,
මේ ඇමතිතුමිය කළ ප්‍රකාශයත් සමග මුළු රටම අස්ථාවර වෙලා තියෙනවා.
එක්සත් ජා‍තික පක්ෂයේ පා.ම, අශෝක ප්‍රියන්ත,
අපේ මතයත් එවැනි ප්‍රකාශයක් කරලා ආණ්ඩුවේ ධූරයක් දැරීම වැරදියි. අපිත් කියන්නේ ඇමතිධූරයෙන් අයින් වෙන්න කියලා.
කතානායක, කරූ ජයසූරිය,
පක්ෂේ ගන්න ඕනෑ තිරණයක්.
මන්ත්‍රීවරයෙක්,
ඔබතුමා ගන්න තීරණය මොකක්ද
කතානායක, කරූ ජයසූරිය,
තීරණය ගන්නම් මම. ඒක බරපතළ කාරණයක් කියලා දන්නවා.මේ පුටුවේ ඉඳලා ගන්න බෑ. එහෙනම් මට නවත්වන්න වෙනවා පාර්ලිමේන්තුව. තර්ජනය කරලා බෑ එහෙම කරන්න. පක්ෂ නායකයෝ එක්ක කතා කරලා බරපතළ විදිහට මම කරන්නම්. ඉතා බරපතළ තීරණයක්. හරි දැන් වාඩිවෙන්න කරුණාරලා
කතානායක, කරූ ජයසූරිය,
වීරවංශ මන්ත්‍රීතුමා මම ඔබතුමාට ආපහු කියනවා වාඩිවෙන්න කියලා. මට වැඩකටයුතු කරන්න ඉඩදෙන්න.
කතානායක, කරූ ජයසූරිය,
මේක රඟමඩලක් කරගන්න එපා. පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවනවා.
අනතුරුව පාර්ලිමේන්තුව රැස්වුව ද නැවත වතාවක් විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය කළ ප්‍රකාශය පිළිබඳ සංවාදය මතු විය. කතානායක, කරූ ජයසූරිය,
මේ සිද්ධිය කතානායකවරයාට බලපාන සිද්ධියක් නෙවෙයි. ඒවාට දේශපාලන පක්ෂ ඉන්නවා.දේශපාලන නායකයෝ ඉන්නවා. දැන් ගරු අගමැතිතුමාට කතාකලා. අගමැතිතුමා ඒ ගැන පරීක්ෂණයක් කරලා අවශ්‍ය පියවර ගනියි.
සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,
මේ සම්බන්ධයෙන් ඉදිරිපියවර ගන්න අපි අගමැතිතුමාත් එක්ක සාකච්ජා කරනවා.
කතානායක, කරූ ජයසූරිය,
නෑ මේ ගැන‍ නෝ ආගියුමන්ට්. මෙතනින් ඉවරයි. නෝ පොයින‍්ට් ඔ‍ෆ් ඕඩර් මේක ඉවරයි අපි වැඩකටයුතු කරගෙන යනවා. ගරු හේෂාන් විතානගේ මන්ත්‍රීතුමා.
කතානායකවරයා එලෙස සභාවේ වැඩකට‍යුතු කරගෙන යෑමට උත්සහ කළ ද නැවත විපක්ෂ මන්ත්‍රීවරු ඊට‍ බාධා කළහ. කතානායක, කරූ ජයසූරිය,
විමල් වීරවංශ මන්ත්‍රීතුමා මතක තියාගන්න මට එහෙම කිව්වට මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න කියපු අය ඉන්නවා. පාර්ලිමේන්තුවට ගිනිතියන්න කියපු අය ඉන්නවා. මට කව්රුවත් නවත්වන්න බෑ. මගේ යුතුකමක් තියෙනවා පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කරගෙන යන්න. බෑ දෙන්න බෑ... සොරි. අගමැතිතුමා ප්‍රකාශයක් දුන්නට පස්සේ ගහන්න රේස් එක. පාර්ලිමේන්තුව කල්දාන්න බෑ. මහජන මුදල් වියදම් කරනවා. විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඔබතුමාව නම්කරන්න සිද්ධ වෙනවා. ඔබතුමා වාඩිවෙන්න.
කතානායක, කරූ ජයසූරිය,
මේක පාර්ලිමේන්තුවක් මොකක්ද මේ
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ,
මේ ඒකාධිපතියෙක්නේ
කතානායක, කරූ ජයසූරිය,
ඒකාධිපතියෙක් නෙවෙයි.මට අවස්ථාවක් දෙන්න කථාකරන්න.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර,
ඔබතුමාට ඕනෑ විදහට නටන්නේ.
කතානායක, කරූ ජයසූරිය,
මට ඕනෑ විදිහට නටන්නේ නෑ. එතුමිය මම කැඳවලා පරීක්ෂා කරනවා. විරවංශ මන්ත්‍රීතුමා කටපරිස්සම් කරගන්න. මට අවස්ථාව දෙන්න. ඔබතුමාගේ මුඛය පරීක්ෂා කරගන්න. ඉතාම කැතවිදිහට කතාකරනවා.
මන්ත්‍රීවරු
ඔබතුමාගේ තීන්දුව අපි බලාපොරොත්තු වෙනවා.
කතානායක, කරූ ජයසූරිය,
තීන්දුව තමා අගමැතිතුමා හම්බෙලා කතා කරලා අවශ්‍යනම් පාර්ලිමේන්තුවේ විනය පරීක්ෂණයක් කරනවා.
සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,
මේ සිද්ධිය සම්බන්ධයෙන් වීනය පරීක්ෂණයක් තියලා සියලු දෙනාටම අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව දෙන්නම්.
කතානායක, කරූ ජයසූරිය,
මම කරනදේ මම දන්නවා. මෙතන න‍ටන්නේ නැතුව ඉඩදෙන්න.
කතානායක, කරූ ජයසූරිය,
මට ඔබතුමාව නම් කරන්න වෙනවා. ඔබතුමා මේ බෝම්බ ගහන්නත් කතා කරලා මෙතන සුදනා. මන්ත්‍රීතුමා ප්‍රවේශම්වෙන්න ඔය කැලණියේ කරපුවා මෙහේ කරන්න බෑ. විජයකලාට මම ගන්නම් ඔබතුමා මන්ත්‍රීවරයෙක් විදිහට හැසිරෙන්න. ‍මොකක්ද මේ හැසිරීම චන්ඩියෙක් වගේ.
කතානායක, කරූ ජයසූරිය,
ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා මට අයින්කරන්න වෙනවා. ඔබතුමා අයින්වෙනවද නැද්ද.
කතානායක, කරූ ජයසූරිය,
හෙට උදේ වෙනකන් පාර්ලිමේන්තුව කල්දානවා.