මහින්දට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙන් දැනුම්දීමක්

මාධ්‍යවේදීන්ට බලපෑම් නොකර ජ්‍යේෂ්ඨ කතුවරුන් අමතන්නැයි මහින්ද රාජපක්ෂට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත දන්වයි

by Staff writer 03-07-2018 | 9:34 PM

COLOMBO (News 1st) - නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ වූ ලිපිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය දක්වන ප්‍රතිචාරවලට එම පුවත්පත නිවේදනයක් නිකුත් කරමින් පිළිතුරුදී තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාට තම වාර්තාව සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට හිරහැර නොකර නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ජ්‍යේෂ්ඨ කතුවරුන් සම්බන්ධ කරගන්නා ලෙස එම පුවත්පත දැනුම්දී ඇත. පුවත්පතේ ජාත්‍යන්තර කර්තෘ මයිකල් ස්ලැක්මන් මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම ලිපිය සකස් කිරීමේදී සහය වූ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේ විවේචනය කර ඇති බවයි. මේ අයුරින් මාධ්‍යවේදීන් බිය වැද්දීම කිසිසේත් අනුමත නොකරන බව පවසන නිව්යෝර්ක් ටයිම්ස් ජාත්‍යන්තර කතුවරයා එය විවේචකයින් නිහඬ කිරීමේ උත්සාහයක් මෙන්ම මාධ්‍ය නිදහස සීමා කිරීමක් බව ද පවසා ඇත. ඔහු අවධාරණය කරන්නේ මෙම ක්‍රියාව ශ්‍රී ලංකාවේ ජනතාව දැනගැනීමට උනන්දුවන තොරතුරු සීමා කිරීමක් බවයි. ශ්‍රී ලංකාවේ බලධාරීන් තමන්ගේ හා වෙනත් ඕනෑම ප්‍රවෘත්ති ආයතනයක මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි අපේක්ෂා කරන බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පවසයි. මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම හරහා ප්‍රතිචාර දක්වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසූවේ, තමන්ට හා මහින්ද රාජපක්ෂ මහතාට මාධ්‍යවේදීන් විවේචනය කරමින් ඔවුන්ගේ කටයුතුවලට මැදිහත්වීමට කාලයක් නොමැති බවයි. මාධ්‍යවේදීන්ට ඇති අයිතීන් මෙන්ම තමන් සම්බන්ධයෙන් පළවන අසත්‍ය තොරතුරුවලට ප්‍රතිචාර දැක්වීමට දේශපාලඥයින්ට ද අයිතියක ඇතැයි ඔහු පැවසීය. ඔහු නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ ජාත්‍යන්තර නතුවරයාට අභියෝග කරන්නේ මාධ්‍යවේදීන් බියවද්දන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුරුන්දැයි නිශ්චිතව පවසන ලෙසයි. මේ අතර විපක්ෂයේ සිටියදීත් පරණ පුරුදු ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ලැජ්ජාවන බව මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් මාධ්‍යවේදීන් බියවැද්දීම හෙළා දැක ඇත. විදෙස් මාධ්‍යවේදීන්ගේ සංගමය පැවසූවේ, පාර්ලිමේන්තු මන්‍ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශ පිළිබඳව කනස්සල්ල පළ කරන බවයි.