මහින්දානන්ද නඩුව විශේෂ මහාධිකරණයට යයිද?

මහින්දානන්ද නඩුව ත් විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කරන්නැයි, ඉල්ලීමක්

by Sagarika Chathumali 03-07-2018 | 12:29 PM

COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහි නඩුව විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කිරීමට අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇතැයි, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අසාද් නවාවී මහතා අද අධිකරණයට දැනුම් දුන්නේ ය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි මෙම නඩුව ගොනු කර ඇත්තේ, පසුගිය ජනපතිවරණ සමයේ රජයේ ඇමතිවරයෙකුව සිටියදී රුපියල් මිලියන 40 කට අධික රාජ්‍ය මුදල් අවභාවිත කරමින් කැරම්බෝඩ් ගෙන්වා දේශපාලන අරමුණින් බෙදාදීමේ චෝදනා සම්බන්ධයෙනි. නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා කියා සිටියේ, විශේෂ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගැනීමට අදහස් කරන බවයි. ඒ අනුව නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 4 වන දා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ ය. විශේෂ මහාධිකරණය පිහිටුවනු ලැබුවේ, දූෂණ චෝදනා සහ මූල්‍ය අපරාධ චෝදනා කඩිනමින් විභාග කිරීම සඳහායි.