ගිනිඅවි බලපත්‍ සහතික කර ගන්න - පොලීසිය

ගිනිඅවි බලපත්‍ සහතික කර ගන්නැයි, පොලීසිය දැනුම් දෙයි

by Staff writer 03-07-2018 | 8:17 AM
COLOMBO (News 1st): ගිනිඅවි බලපත්‍ර යළි සහතික කිරීමට පියවර ගෙන ඇතැයි, ශ්‍රී ලංකා පොලීසිය පවසයි. එහි ජේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, බලපත්‍රලාභීන් සිය බලපත්‍රය ළඟ ම ඇති පොලිස් ස්ථානයට ඉදිරිපත් කර එය සහතික කිරීමට කටයුතු කළ යුතු බවයි. සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන් සඳහා ගිනිඅවි භාවිතය ඉහළ යාම සහ බලපත්‍ර නොමැති නුසුදුසු පුද්ගලයින් සතුව ගිනි අවි පැවතීම හේතුවෙන්, එම පියවර ගත් බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර සංවිධානාත්මක අපරාධ ක්‍රියාවල නිරත අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව ද පොලිසියේ ජ්‍යේෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළේ ය. අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන්, තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳ වහා ම පොලීසිය දැනුම්වත් කරන්නැයි ද, ඔහු ජනතාවට දැනුම්දෙයි. මේ අතර සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීම සඳහා සංවිධානාත්මක අපරාධ නිවරාණ කොට්ඨාසයේ කණ්ඩායම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරුවලට අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේ, අපරාධ ක්‍රියා වැඩි වශයෙන් වාර්තා වන දකුණු පළාත ආශ්‍රිතව කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවයි. එම කණ්ඩායම්වලට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායම් 10ක් ද දිවයින පුරා හඳුනාගත් විශේෂ කාර්ය බලකා කඳවුරුවලට යොමු කර ඇති තිබේ. මේ අතර බලපත්‍ර සහිත ගිනිඅවි බලපත්‍රලාභීන් සතුව පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් විශේෂ අධ්‍යනයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය ආරම්භ කර තිබේ. ඒ බලපත්‍රලාභීන් සතු ගිනි අවි නුසුදුසු පුද්ගලයින් අතට පත් ව ඇති බවට තොරතුරු අනාවරණ වීමත් සමගයි.