බ්‍රසීලය පාපන්දු ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට

අඛන්ඩව 6 වන වරටත් බ්‍රසීලය පාපන්දු ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට

by Staff writer 03-07-2018 | 6:42 AM
අඛන්ඩව 6 වන වරටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රබල බ්‍රසීලය කණ්ඩායම සමත් විය. බෙල්ජියම් කණ්ඩායම ද මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ තියුණු තරගයකින් පසුව ජපානය පරාජය කරමිනි. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්යම් 16 දෙනාගේ වටයේ බ්‍රසීලය හා මෙක්සිකෝව අතර තරගය රුසියාවේ සාමාරා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. ගියවර ශූරයින් මෙන්ම අනුශූරයන් ද මෙවර තරගාවලියෙන් ඉවත් වන විට එකී කණ්ඩායම්වලට අභියෝග කරමින් නේමාර් ප්‍රමුඛ බ්‍රසීලය පහසුවෙන්ම මෙම තරගය ජය ගැනීමට අවස්ථාවක් හිමිවීම විශේෂත්වයකි. තරගයේ පළමු අර්ධය උණුසුම් මුහුණුවරක් ගත් අතර කිසිවෙකු නොසිතු ලෙස මෙක්සිකෝව ප්‍රබල බ්‍රසීලයට තියුණු තරගයක් ලබා දුන්නේ ඔවුන්ගේ උත්සාහයන් 11ක්ම ආසාර්ථක කරමිනි. එම අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට අවස්ථාවක් හිමිනොවීය. නමුත් දෙවන අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් අනුගමනය කළ බ්‍රසීල කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක නේමාර් මිලියන 200 ක බ්‍රසීල පාපන්දු ලෝලීන්ගේ බලාපොරොත්තු සාක්ෂාත් කරමින් තරගයේ 51 වන මිනිත්තුවේදී සිය කණ්ඩායමට පළමු ගෝලය එක් කළේ ය. බ්‍රසීල ක්‍රීඩක විලියන් විශිෂ්ට ධාවනයකින් අනතුරුව පන්දුව නේමාර් වෙත යොමු කළ අතර දඬුවම් පහර චතුරශ්‍රයේ ලිස්සා ගිය ඔහු දක්ෂ ලෙස පන්දුව ගෝල රාමුව තුළින් දැල තුළට යොමු කිරීමට සමත් විය. එම ගෝලයත් සමගින් බ්‍රසීලය ලෝක කුසලාන තරගාවලිවල ගෝල 227ක් සම්පූර්ණ කර ගත් අතර ජර්මනිය පසුකරමින් ලෝක කුසලාන තරගවල වැඩිම ගෝල ලබාගත් කණ්ඩායම ලෙස ඉතිහාසගත වන්නට ඔවුන්ට හැකි වීම විශේෂත්වයකි. තරගය නිමාවීමට මිනිත්තු 2 ක් ඉතිරිව තිබියදී, යළිත් ක්‍රියාත්මක වූ නේමාර් පන්දුව වේගවත් ධාවනයක් ඔස්සේ රොබෙර්ටෝ ෆර්මිනෝට පිරිනැමීම හමුවේ බ්‍රසීලය වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කිරීමට ෆර්මිනෝ සමත් විය. ප්‍රතිවාදී මෙක්සිකෝ කණ්ඩායමට එම අර්ධයේදී ද කිසිදු ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාව හිමි නොවීය. ඒ අනුව ගෝල 2 ට 0 ක් ලෙස මෙක්සිකෝ කණ්යම පරාජය කරමින් අඛන්ඩව 6 වන වරටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට බ්‍රසීලය සමත් විය.