තලාව රාජ්‍ය බැංකු කොල්ලයේ වටිනාකම රු. මිලියන 95ක්

තලාව රාජ්‍ය බැංකුවෙන් කොල්ලකෑ රත්‍රං සහ මුදල්වල වටිනාකම රු. මිලියන 95ක්

by Staff writer 02-07-2018 | 6:49 PM

COLOMBO (News 1st) - අනුරාධපුර, තලාව ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ පිරිසක් රුපියල් මිලියන 95 ක් වටිනා රන් භාණ්ඩ සහ මුදල් පැහැරගෙන පලාගොස් තිබේ.

පොලීසිය සැකරන්නේ මෙම බැංකු කොල්ලය පසුගිය සෙනසුරාදා හෝ ඉරිදා සිදුව ඇති බව ය. ගෑස් සහිත යකඩ කපන උපකරණයක් ආධාරයෙන් බැංකුවේ පිටුපස දොරටුව කඩා ඇතුළු වී ඇති මංකොල්ලකරුවන් එහි තිබූ සේප්පු 3ක් විවර කර ඇතැයි පොලීසිය පවසයි. අරක්ෂක කැමරා පද්ධතියේ දත්ත අඩංගු සියලුම උපාංග සොරු විසින් ගලවාගෙන ගොස් තිබෙන අතර ආරක්ෂිත අනතුරු ඇඟවීමේ පද්ධතියද කොල්ලකරුවන් විසින් විසන්ධි කරනු ලැබ තිබේ. බැංකුවේ ආරක්ෂක නිලධාරීන් වැඩ කරන දිනයන්හිදී පමණක් සේවය කරන බව පොලීසිය පවසයි. කොල්ලකරුවන් බැංකුවේ ඇති සේප්පු 4 න් 3ක්ම කඩා රන් භාණ්ඩ සහ මුදල් පැහැරගෙන ගොස් තිබූ අතර ඒවායේ මුළු වටිනාකම රුපියල් මිලියන 95කි. බැංකු ගොඩනැගිල්ලට පිටුපසින් පුද්ගලික ඉඩමක් ඇති අතර එම ප්‍රදේ‍ශයේ මෙන්ම කොල්ලකරුවන් පැන යන්නට ඇතැයි සැකකරන මාර්ගයේ ද විමර්ශන සිදු කෙරුණේ නිල සුනඛයින් ද යොදවමිනි. පාදෙණිය - අනුරාධපුර ප්‍ර‍ධාන මාර්ගයේ, තලාව පොලිස් ස්ථානයට මිටර් 750 කට නොවැඩි දුරකින් පිහිටා ඇති මෙම රාජ්‍ය බැංකුව කොල්ල කා ඇති බව වගකිවයුත්තන් දැනගෙන ඇත්තේ අද උදෑසනයි. රාජ්‍ය බැංකුවක ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් යොදවන්නේ රාජකාරී දිනවල පමණක්ද ? ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් උදය ඉමල්ෂාන් මහතා
"අපි මේ බැංකුවේ ආරක්ෂක පද්ධතියේ නවීන බව හා නවීන තාක්ෂණය අනුව, ඒ කියන්නේ සෙන්සර්ස් හා කැමරා පද්ධති අනුව තමයි වීකෙන්ඩ් එකේ කටයුතු කරන්නේ. නිවාඩු දිනවල මේ සඳහා ආරක්ෂක නිලධාරින් යොමු කරන්නේ නැහැ. පරීක්ෂණවලින් පස්සේ තමයි අපිට දැනගන්න වෙන්නේ මේ සඳහා මොවුන් කුමන තාක්ෂණයක් ද යොදා ගත්තේ කියලා. ඉන්පසු අපිට පුළුවන් වෙයි අපේ බැංකුවේ ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කරන්න"
අති නවීන බව පැවසෙන ආරක්ෂිත කැමරා හා සංඥා පද්ධතිය ද විසන්ධි කර, මහාමාර්ගයක් ආසන්නයේ ඇති රාජ්‍ය බැංකුවකට ඇතුළු වීමටතරම් කොල්ලකරුවන්ට හැකි වූයේ කෙසේද යන්න මහජනතාවට ඇති ගැටළුවයි.