ඌරුබොක්කේ ඝාතනයක්, ඝාතකයා ත් මරුට

by Sagarika Chathumali 02-07-2018 | 6:49 AM
ඌරුබොක්ක, විජයගම, මිල්ලමුල්ලහේන ප්‍රදේශයේදී මානසික රෝගියෙකු එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් කාන්තාවක මියගොස් තවත් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ පහරදීම සිදුකළ සැකකාර මානසික රෝගියා ද මියගොස් ඇති අතර ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි. සැකකරු ඊයේ පස්වරු 6.30ට පමණ පෞද්ගලික අවශ්‍යතාවක් යැයි පවසා නිවසක් වෙත ගොස් එහි සිටි 66 සහ 33 හැවිරිදි හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල සිදුකර තිබේ. එම අවස්ථාවේදී ම තවත් නිවෙසක් වෙත ගොස් ඇති සැකකරු තම ළමුන්ට ආහාර ලබා දෙමින් සිටි 29 හැවිරිදි කාන්තාවකට තියුණු ආයුධයෙන් පහර දී ඇති බව පොලීසිය සඳහන් කළේ ය. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ඇය එම ස්ථානයේදී ම මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා හීගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහල වෙත මාරුකර යවා ඇති බවයි.