‍දේශපාලනය පාසලට ඇවිල්ලා ළමයින්ගේ විනය විනාශ කරලා

‍දේශපාලනය පාසල්වලට ඇවිල්ලා ළමයින්ගේ විනය විනාශ කරලා: ඕන්න රටට කරලා තියෙන පිංකම - අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

by Chathuranga Rajapaksha 01-07-2018 | 12:34 PM

* ඔක්කෝම ආණ්ඩු එකතු වෙලා රටේ අධ්‍යාපනය විනාශ කරලා ඉවරයි

* අධ්‍යාපන අධ්‍යක්ෂවරු කීදෙනෙක් ඉන්නවද නමුත් ඉරිදට පෝයට ටියුෂන් තහනම් කරන්න බැරි ඇයි?

* හොඳම පාසල ළඟම පාසල කියලා කටින් කියලා වැඩක් නැහැ

* නීතිරීති සේරම යටයි පගාවට

COLOMBO (News 1st) - පාසල් පද්ධතිය තුළට දේශපාලනය ඇතුළුවීම හරහා වර්තමානයේ දඩබ්බර සමාජයක් මෙරට නිර්මාණය වී ඇති බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

අගරදගුරු හිමිපාණන් ඒ බව පැවසුවේ හංවැල්ලේ ඊයේ පැවති උත්සවයකදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. දරුවන්ට ආගමික අධ්‍යාපනයක් ලබා නොදී අධ්‍යාපන ක්‍රමය අනාගමික පරිසරයකට ගෙනගොස් ඇති බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේය. එබැවින් ආගමික විනය පාසල්වලින් බැහැරට ගොස් දේශපාලන විනය පාසල් තුළට ඇතුළු වී තිබෙන බව අගරදගුරු හිමිපාණන් පවසයි. එවැනි පසුබිමත් තුළ දේශපාලනඥයින් ඉදිරියේ ගුරුවරුන්ට දණ ගැස්සවීමේ පරිසරයක් නිර්මාණය වී තිබෙන බව අගරදගුරු හිමිපාණන් සඳහන් කළේය. උපකාරක පන්ති හේතුවෙන් ඉරිදා දිනවල දරුවන්ට දහම් පාසල යාමට නොහැකි වීම පිළිබඳව එහිදී පැමිණි සිටි මාධ්‍යවේදීන් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් විමසීමක් කළේය. ඒ පිළිබඳව අදහස් දැක්වූ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේ, අදාළ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ලිපියක් යැවූ බවත් ඊට පිළිතුරු ලිපියක් ද ලැබුණු බවය. නමුත් දැන් වසර එකහමාරක් පමණ ගතව ඇතත් ඒ සඳහා විසඳුමක් නොලැබී ඇති බව අගරදගුරු හිමිපාණන් සඳහන් කළේය. අධ්‍යාපන අධ්‍යක්ෂවරු කිහිප දෙනෙකු සිටියත් තවමත් ඉරිදාට සහ පෝය දිනවල පවත්වන උපකාරක පන්ති තහනම් කිරීමට නොහැකි වී තිබෙන බව අගරදගුරු හිමිපාණන් පවසයි. සමහර උපකාරක පන්තිවල ඉගෙනුම ලබන දරුවන්ට ගුරුවරයාගේ මුහුණ දකින්නට වන්නේ පුළුල් රූපවාහිනි තිර වලින් බව ත් එවැනි ආකාරයට දරුවන් අධ්‍යාපනය ලබන්නේ කෙසේද යන්න පිළිබඳව අගරදගුරු හිමිපාණන් ප්‍රශ්න කළේය. වර්තමානය වනවිට සම්පූර්ණයෙන්ම වැඩ වරද්දාගෙන ඇති බව ත් අධ්‍යාපනය විනාශ කර ඇති බව ත් අගරදගුරු හිමිපාණන් පවසයි. වත්මන් අධ්‍යාපන ක්‍රමය තුළ දෙමාපියන් හා දරුවන් මුහුණපාන තවත් ගැටළු කිහිපයක් පිළිබදව මෙහිදි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අදහස් පල කළේය. "ඒවාගේම බලන්න ළමයිට දැන් දෙමාපියෝ තව වියදම් කරන දෙයක් තියෙනවා මේ වෑන්වල ළමයිව කොළඹ එවන එක. හොඳම පාසල ළඟම පාසල කියලා කටින් කියලා වැඩක් නෑ. කරන්න ඕනේ.ඉතින් මොකද වෙලා තියෙන්නේ වෑන්වලටත් මේ දෙමාපියෝ ගෙවනවා. එතකොට ආණ්ඩුවෙන් වෙන් කරලා තියෙන්නේ සියයට 6යි. ටියුෂන් පන්තිවලට වැය කරන මුදල් දෙමාව්පියෝ ඒවායි අනිත් වෑන්වලට ගෙවන සල්ලියි එකට දැම්මොත් විශාල ප්‍රාග්‍ ධනයක් වැය කරලා මේ ළමයිගේ විනයක් ඔක්කෝම විනාශ කරලා ඕන්න රටට කරලා තියෙන ලොකු පින්දහම" මේ අතර ගල්කොරි හේතුවෙන් හංවැල්ල ප්‍රදේශයේ සිදුවන පරිසර විනාශය පිළිබඳව ද මෙහිදි අගරදගුරු හිමිපාණන් අදහස් පල කළේය. "මට ඇවිල්ලා කියපු වෙලා‍වේ මම ඒක අදාළ ආයතනවලට ජනාධිපතිතුමාට මේක යැව්වා. යැව්වාට පස්සේ ඕගොල්ලෝ දන්නවා ඒ‍ගොල්ලෝ ඒක තහනම් කෙරුවා කියලා. නමුත් ඕගොල්ලොම මට කිව්වා අද ආයිත් සැරයක් පටන් අරන් කියලා. ඒ කියන්නේ කවුරු හරි පගාව දීලා ඇති. පගාවක් අරගෙන අවසර දීලා ඇති. දන්නවානේ මේ රටේ තියෙන ලොකුම ව්‍යසනය මොකද්ද කියලා. අවංකකමක් නෑ පගාවට තමයි හැමදේම කරන්නේ. එතකොට නීතිරීති සේරම යටයි පගාවට. ඒකයි ඒකට හේතුව දැන්වත් දේශපාලන නායකයෝ ඒකට ඇස් ඇර ගනී කියලා අපි විශ්වාස කරනවා"