පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට

මාසයක් තුළ පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 01-07-2018 | 6:20 AM

COLOMBO (News 1st) - මසක් තුළ සිදු කළ මෙහෙයුම්වලින් පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අතුරින් අට දෙනෙකු අඟුලාන අංජු නැමති පාතාල කල්ලි ප්‍රධානියාගේ ගෝලයින් බව ය. සෙසු පිරිස මාකඳුර මධුෂ් නැමැත්තාගේ ගෝලයින් බව ද ඔහු පවසයි. මේ අතර අත්අඩංගුවට ගැනීමට තැත් කිරීමේදී තවත් පාතාල කල්ලි සාමාජිකයින් තුන් දෙනෙකු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. එම බලකාය සදහන් කළේ, මේ වනවිට මෙරට ප්‍රධාන පෙලේ පාතාල කල්ලි නායකයින් 6 දෙනෙකු විදේශගතව සිටින බව ය. ඔවුන් අතර අංගොඩ ලොක්කා හා මාකඳුර මධුෂ් යන අය ඉන්දියාවේත්, අඟුලාන අංජු ඩුබායි රාජ්‍යයේත් සිටින බවට තොරතුරු තහවුරු වී ඇති බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. කෙසේ වෙතත් විදේශගතව සිටින ලඩියා, කොස්ගොඩ සුජී, කෙසෙල්වත්ත දිනුක යන පාතාල කල්ලි නායකයින් කුමන රටක සැඟවී සිටින්නේදැයි මෙතෙක් නිශ්චිත තොරතුරක් නොමැත. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා නිවේදන නිකුත් කර ඇති බව ද පොලිස් විශේෂ කාර්ය බලාකායේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේය. මේ අතුරින් කොස්ගොඩ සුජී හා මධුෂ් යන පුද්ගලයින් දුටු තැන අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කර තිබේ. මේ අතර මසක් තුළ කළ මෙහෙයුම්වලින් ගිනි අවි 6ක් ද සොයා ගත් බව එම නිලධාරියා වැඩි දුරට ත් සඳහන් කළේය.