තෙල් සංස්ථාවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමට අනතුරු ඇඟවීමක්..!

by Staff writer 01-07-2018 | 8:06 PM

ශ්‍රීලංකන් ගුවන් සමාගම තමන්ට ගෙවිය යුතු හිඟ මුදල් ලබන බදදා වන විට ලබා නොදෙන්නේ නම් ඉන්ධන සැපයීම අත්හිටුවීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

  එහි ප්‍රකාශකයකු සඳහන් කළේ, ඒ සඳහා වන සිහි කැඳවීම් ලිපිය මේ වන විටත් ශ්‍රීලංකන් ගුවන් සමාගමට යොමු කර ඇති බවයි. ඛනිජ තෙල් සංස්ථාව සමග ඇතිකරගත් එකඟතාවන් මත ශ්‍රීලංකන් ගුවන් සමාගමට රුපියල් බිලියන 13ක සීමාව දක්වා ණය පදනම යටතේ ඛනිජ තෙල් ලබාදීම සිදුවේ. මේ වන විට ණය පදනම මත ලබාදී ඇති ඛනිජ තෙල් තොගයේ වටිනාමක රුපියල් බිලියන 14කි. ඉන් රුපියල් බිලියන 8ක් 2008 වසරේ මිලදී ගත් ඛනිජ තෙල් සඳහා ලැබිය යුතු මුදල් බව සංස්ථාව පවසයි. ඉතිරි රුපියල් බිලියන 6ක මුදල ඉන් පසු අවස්ථා කිහිපයකදී ණය පදනම මත ලබාගත් ඛනිජ තෙල් සඳහා ගෙවිය යුතු වේ. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයාගෙන් අප මේ පිළිබඳව විමසීමක් කළේ ය. සමාගමේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවත් එහි ප්‍රතිඵල ලබාගැනීමට තවත් කාලය ගත වන බැවින් රජය මෙම ණය මුදල් ගෙවීමට කටයුතු කළ යුතු බව ඔහු පවසයි. ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් මේ වන විට රජය සමග සාකච්ඡා කරන බව ද ගුවන් සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඛනිජ තෙල් සංස්ථාවේ සිහි කැඳවීම් ලිපිය තමන්ට ලැබී නොමැති බවයි. මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ජානක විජේපතිතර්න පවසන්නේ, නිෂ්චිත ව්‍යාපාර සැලැස්මක් සහ ඉලක්කයකින් තොරව ජාතික ගුවන් සේවයට පැවැත්මක් නොමැති බවයයි.
"ප්‍රධාන නිලධාරීන් පත් කරන්න මිලියන ගණන් වැය කරන රජය තවත් වෙලාවක ඔහුන් ඉවත් කරන්න මහජන මුදල් මිලියන ගණන් වන්දි ගෙවනවා. එක් වෙලාවක සේවක අතිරික්තයක් තියෙනවා කියන රජය තවත් වෙලාවක සේවකයින් බඳවා ගන්න ඇමතිවරුන් හරහා බල කරනවා. මෙහෙම මේ ගුවන් සේවයට යන්න බැහැ. එක් වෙලාවක වහන්න ඕනි කියනවා. තව ඇමතිවරයෙක් වහල දාන්න ඕනි කියනවා. තව වෙලාවකට විකුණන් ඕනි කියනවා තව වෙලාවකට ප්‍රතිව්‍යුහගත කරන්න ඕනි කියනවා. නිෂ්චිත ව්‍යාපාර සැලැස්මක් ඉලක්කයක් නැතුව ජාතික ගුවන් සේවයට පැවැත්මක් නැහැ. මේක සිල්ලර කඩයක් විදිහට කරන්න බැහැ. ඒහේම ගියාම වන අවසන් ප්‍රතිඵලය තමා මේ. අපි රජයට වහාම කියනවා මේ අවුරුදු 3ක් පිස්සු නැටුවා ඇති ජාතික ගුවන් සේවය සමග"
‍මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ද රුපියල් බිලියන 45ක පමණ ණය මුදලක් ඛනිජ තෙල් සංස්ථාවට ලබාදිය යුතු වේ. එමෙන්ම රජයේ ඉන්ධන සහනාධාරය වෙනුවෙන් මහා භාණ්ඩගාරයෙන් රුපියල් බිලියන 312ක පමණ මුදලක් ඛනිජ තෙල් සංස්ථාවට ලැබිය යුතු බව ද එම සංස්ථාව පවසයි. සමස්තයක් ලෙස රාජ්‍ය ආයතනවලින් ඛනිජ තෙල් සංස්ථාවට මේ වන විට ලැබිය යුතු මුළු ණය මුදල රුපියල් බිලියන 69 ක් පමණ වේ. එසේ තිබියදී පසුගිය 22 වන දා දේශිය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඛනිජ තෙල් සංස්ථාවේ සියලු බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර ගත්තේ රුපියල් මිලියන 762ක බදු මුදලක් නොගෙවීම හේතුවෙනි. මේ හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාවේ සියලු කටයුතු පැය කිහිපයකට ඇනහිට ඇති අතර ඉන්ධන බෙදාහැරීම් , මිලදී ගැනීම් හා අනෙකුත් කටයුතු තාවකාලිකව නතර කිරීමට සිදුව තිබේ. සංස්ථාව සඳහන් කළේ,රුපියල් මිලියන 500ක මුදලක් ගෙවිමෙන් අනතුරුව සියලු කටයුතු සක්‍රිය තත්ත්වයට පත්කරගැනීමට හැකිවූ බවයි. ඉතිරි රුපියල් මිලියන 262 මුදල ලබන 20 වෙනිදාට පෙර ගෙවිය යුතු බවට ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සංස්ථාවට දන්වා තිබේ. නමුත් සංස්ථාවේ ඉහළ නිලධාරීන් සඳහන් කරන්නේ රාජ්‍ය ආයතනවලින් අයවිය යුතු මුදල්වලින් මෙය අය කරගන්නා ලෙසට දැන්නුව ද අදාළ බලධාරින් එය සිදුනොකරන බවයි.