ජනපති ට්‍රම්ප් මේ අරඅදින්නේ කුමකට ද?

ජනපති ට්‍රම්ප් මේ අරඅදින්නේ කුමකට ද?

by Sagarika Chathumali 01-07-2018 | 6:10 PM

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 2කින් ඉහළ නංවන ලෙස සෞදි අරාබියෙන් ඉල්ලීමක් කර තිබේ.

ඉන්ධන පිරිවැය ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් සෞදි සල්මන් රජුගෙන් එම ඉල්ලීම කළ බව අමෙරිකානු ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත. දිනක බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 2ක් දක්වා ඉහළ නංවන ලෙස කළ ඉල්ලීමට සෞදි රජු එකඟත්වය පළ කළ ට්‍රම්ප් පවසයි. ජනාධිපතිවරයා සිය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඉරානයේ සහ වෙනිසුවෙලාවේ ආරවුල් සමග බොර තෙල් නිෂ්පාදනය අඩු වීම හේතුවෙන් සෞදියෙන් මෙම ඉල්ලීම කිරීමට සිදුවූ බවයි. මේ අතර සෞදි පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ, අමෙරිකානු ජනාධිපතිවරයා දුරකතනයෙන් සෞදි රජු ඇමතූ බව ත් එහිදී ඉන්ධන වෙළෙඳපොළේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කරුණු පිළිබඳව සාකච්ඡා කළ බව ත් ය. එහෙත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ ඉල්ලීමට සල්මන් රජු එකඟ වූ බව ක් සෞදි පුවත් ඒජන්සිය වාර්තා කර නොමැත. ඇමරිකාව, ලොව ප්‍ධානත ම ඉන්ධන නිෂ්පාදකයෙකු වන ඉරානයට එරෙහි සම්බාධක යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීමෙන් පසුව පසුගිය සතියේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් යළි ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය. උද්ගත වූ තත්ත්වය හමුවේ ඉරානය, ඉරාකය, කුවෙට්, සෞදි අරාබිය සහ වෙනිසුවෙලාව යන ප්‍රධාන තෙල් නිෂ්පාදකයින්ගෙන් සමන්විත ඔපෙක් සංවිධානය ඉන්ධන නිෂ්පාදනය ඉහළ නැංවුව ද වෙළෙඳපොළ අවශ්‍යතා සහතික කිරීමට එය ප්‍රමාණවත් නොවී ය. සෞදි අරාබිය ලොව විශාලතම ඉන්ධන අපනයනකරු වන අතර මැයි මාසය තුළ එක් දිනකට නිෂ්පාදනය කර ඇත්තේ, ඉන්ධන බැරල් මිලියන 10ක් පමණ ය. කෙසේ වෙතත් සෞදි රජයේ උසස් නිලධාරියෙකු පවසා ඇත්තේ, අධික පිරිවැයක් දැරීමට සිදුවන බැවින් අමෙරිකානු ජනාධිපතිවරයා ඉල්ලන පරිදි ඉන්ධන නිෂ්පාදනය ඉහළ නැංවීමට සිය රටට හැකියාවක් නොමැති බව ය.

ඉරානයෙන් දොස්...

මේ අතර ඉරානය අමෙරිකානු ජනාධිපතිවරයාට දොස් නගමින් පවසන්නේ, ට්‍රම්ප් ඔපෙක් සංවිධානය දේශපාලනීකරණය කිරීමට තැත් කරන බව ත් සෞදිය අමෙරිකානු ජනාධිපතිවරයාගේ පදයට නටමින් සිටින බව ත් ය. මේ අතර පසුගිය දා ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි පැවසුවේ, අමෙරිකාව සිය රට ආර්ථික පීඩනයකට ලක් කරමින් ජනතාව සහ රජය අතර ඝට්ටනයක් ඇති කිරීමේ ප්‍රයත්නයක නිරතව සිටින බවයි. ට්‍රම්ප් පමණක් නොව මීට පෙර සිටි අමෙරිකානු ජනාධිපතිවරුන් 6 දෙනෙකු ම මෙය සිදු කිරීමට උත්සාහ කළ බව ත් ඒ සියල්ල නිෂ්ඵල වූ බව ත් ඉරනයේ ආධ්‍යාත්මික නායකයා සිහපත් කර සිටී. අමෙරිකාව පසුගිය මැයි මාසයේ ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වූ අතර එතැන් සිට ඉරාන රියාල් මුදල් ඒකකයේ අගය ද පහත වැටෙන්නට විය. මිල ගණන් ඉහළ යාම සහ රියාල් වටිනාකම පහත වැටීමට එරෙහිව මෙම සතියේ මුල් භාගයේදී දහස් ගණනක් වූ වෙළෙඳුන් ටෙහෙරාන්හි විරෝධතාවක නිරත වූ අතර එය සැලකෙන්නේ, 2012 වසරෙන් පසු එරට පැවති විශාලතම ජනතා විරෝධතාව ලෙසයි.