කොකේන් ගිල මෙරටට පැමිණි තවත් බ්‍රසීල ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

by Staff writer 01-07-2018 | 2:38 PM

COLOMBO (News 1st) - කොකේන් මත්ද්‍රව්‍ය ගිල මෙරටට පැමිණි තවත් බ්‍රසීල ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔහු දෝහා කටාර් සිට අද පෙරවරුවේ මෙරටට පැමිණි බව ය. බ්‍රසීල ජාතිකයෙකු කොකේන් රැගෙන පැමිණෙන බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට තොරතුරක් ලැබී තිබුණි. ඒ, අනුව කළ පරික්ෂාවකදී අත්අඩංගුවට ගත් සැකකරු ගිලින ලද කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 5 ක් පිටතට ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් 24 හැවිරිදි සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත ය. මේ අතර ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් කොකේන් ගිල මෙරටට පැමිණි බ්‍රසීල ජාතිකයා අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. ඔහුගේ උදරයේ තිබී පිටතට ගත් කොකේන් ප්‍රමාණයේ වටිනාකම රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකි. ඡායාරූප අනුග්‍රහය – පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය