ශ්‍රීලංකන් හිටපු සභාපතිගේ වියදම් පිළිබඳ අනාවරණයක්

ශ්‍රීලංකන් හිටපු සභාපතිගේ වියදම් පිළිබඳ අනාවරණයක්

ශ්‍රීලංකන් හිටපු සභාපතිගේ වියදම් පිළිබඳ අනාවරණයක්

කර්තෘ Staff writer

11 Jul, 2018 | 8:39 pm

COLOMBO (News 1st) – ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ අධික වියදම් පිළිබඳව අද ජනාධිපති කොමිසමේදී අනාවරණ විය.

2008 වසරේ සිට 2015 දක්වා ව්‍යාපාරික වැදගත්කමක් ඇති මගින්ගේ අතිරේක ගමන්මලු සඳහා අයකිරීම සභාපතිවරයා විසින් ඉවත් කර තිබු අතර ඒ වෙනුවෙන් ලැබිය යුතු රුපියල් මිලියන 7.726 ක මුදල් සමාගමට අහිමි වී ඇති බව අද අනාවරණ විණි.

එම අතිරේක ගමන් මලු ප්‍රමාණය ටොන් තුනක් පමණ වන අතර එය මගින් 36 දෙනෙකුට සමානයි.

සභාපතිවරයාගේ කාර්ය මණ්ඩලය ලෙස ඔහුගේ ලේකම් සහ විධායක ලේකම්වරිය සේවය කළ අතර 2013 – 2014 කාලය තුළ සභාපතිවරයාගේ කාර්යමණ්ඩල මුලික වැටුප ලෙස රුපියල් මිලියන 3.8 ක් වැය කොට තිබුණි.

එම සේවකයන් දෙදෙනා පමණක්ගතහොත් ඔවුන් එම වසරේදී මසකට රුපියල් එක්ලක්ෂ පනස් අට දහස බැගින් වූ මුලික වැටුපක් ලබා තිබෙන බව ද මෙහිදී අනාවරණ විය.

අද වැඩිදුරටත් අනාවරණ වුයේ, නිශාන්ත වික්‍රමසිංහ මහතාට දිනපතා පැය 20 ක අධික කාලයක් සේවය කරන රියැදුන්රන් ද සිටි බවයි.

ඔවුන් එක්තරා කාලයකදී අත්තිකාල දීමනා ලෙස මසකට රුපියල් ලක්ෂයක් ඉක්මවු අත්තිකාල වැටුපක් ලබාගෙන ඇති බව ද අනාවරණ විණි.

2014 – 2015 කාලය තුළදී නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ විදේශ ගමන් වියදම රුපියල් මිලියන 09 ක් ඉක්මවා තිබේ.

වාණිජ පන්තියේ අසුනක සිංගප්පුරුවට යාමට වැයවන මුදල රුපියල් 30,000 ක් ලෙස ගණනය කළහොත් නිශාන්ත වික්‍රමසිංහ මහතා එම වසර තුළදී තුන්සිය වතාවක් සිංගප්පුරුවට ගොස් ඇති බව නිගමනය කළ හැකියි.