ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය අභාවප්‍රාප්ත වෙයි

ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය අභාවප්‍රාප්ත වෙයි

ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Staff writer

11 Jul, 2018 | 6:44 am

COLOMBO (News 1st) – මෙරට කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු මෙන් ම ප්‍රකට නීතිවේදියෙකු වූ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.

ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ දේහය අද පස්වරුවේ කොළඹ නෝරිස් කැනල් මාවතේ පිහිටි නිවස වෙත රැගෙන එනු ලැබිණි.

මියයන විට 74 වන වියේ පසු වූ හේමන්ත වර්ණකුලසූරිය මහතා මෙරට නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටුකළ නීතිවේදියෙක් ය.

ජන මාධ්‍ය මගින් මෙරට නීතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පුළුල් මෙහෙවරක නිරතව සිටි වර්ණකුලසූරිය මහතා අසාධාරණයට හා අයුක්තියට එරෙහිව ප්‍රබලව සටන් කළ නීතිඥවරයෙකු ලෙස ද ප්‍රකට වේ.

තංගල්ලේදී උපත ලැබූ වර්ණකුලසූරිය මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි.

1972 වසරේ පෙබරවාරි මස 16 වන දා කොළඹ නීති විද්‍යාලයෙන් පිට වූ ඔහු සිය වෘත්තීය දිවිය ආරම්භ කළේ ය.

එම වසරේම ඔහු විවාහ වූයේ අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායක එච්. ආර්. ජෝතිපාල මහතාගේ නැගනිය වූ අයිරාංගනී වර්ණකුලසූරිය මහත්මිය සමගයි.

දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වූ හේමන්ත වර්ණකුලසූරිය මහතා නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ මාමණ්ඩිය වේ.

රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ඉතාලිය, ග්‍රීසිය, ඇල්බේනියා යන රටවල 2007 වසරේ සිට 2011 වසර දක්වා කාලයේ සුවිශේෂී සේවාවක් ඉටුකල ඔහු සයිප්‍ර‍ස් හා මෝල්ටාව යන රටවල මහ කොමසාරිස්වරයා ලෙස ද කලක් කටයුතු කළේ ය.

වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්තවනවිට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කරමින් සිටියේ ය.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා සිදු කිරීමට නියමිත වේ.