ඉන්ධන මිල ඉහළ යාමෙන් ප්‍රවාහන ගාස්තුත් වැඩි වෙයි ද?

ඉන්ධන මිල ඉහළ යාමෙන් ප්‍රවාහන ගාස්තුත් වැඩි වෙයි ද?

ඉන්ධන මිල ඉහළ යාමෙන් ප්‍රවාහන ගාස්තුත් වැඩි වෙයි ද?

කර්තෘ Staff writer

11 Jul, 2018 | 7:27 am

COLOMBO (News 1st) – ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් මිල ඉහළ දැමීමත් සමග යළිත් වරක් පොදු ප්‍රවාහන සේවාවල ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වී තිබේ.

රජයේ තීරණයත් සමග ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 08 කින් හා ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07 කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමිණි.

එම තීරණයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 09 කින් ඉහළ ගිය අතර සුපර් ඩීසල් ලීටරයක මිල ඉහළ ගියේ, රුපියල් 10 කිනි.

කෙසේ වෙතත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ, මිල සූත්‍රයට අනුව සෑම මාසයකම 10 වන දා ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ය.

මෙවැනි තත්ත්වයක් යටතේ පොදු ප්‍රවාහන සේවාවල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ඒ ඒ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති කිහිපයකින් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය.

සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ, ඉන්ධන මිල ඉහළ යාම බස් රථ හිමියන්ට දැඩි බලපෑමක් එල්ල කරන බව ය.

කෙසේ වෙතත් මේ පිළිබඳව අවසන් තීරණයක් අද දහවල් වන විට ගන්නා බව අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ ය.

ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති කේ.ඩී. අල්විස් මහතා සඳහන් කළේ, තම සංගමයේ විධායක සභාව රැස්වී මේ පිළිබඳව තීරණයක් ගන්නා බව ය.

මේ අතර ඉන්ධන මිල වැඩි කිරීමට රජය තීරණය කිරීමත් සමග ඊයේ රාත්‍රියේ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබිණි.