සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 100 ක් මරුට

ලිබියානු මුහුදේදී සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 100 ක් මරුට

by Staff writer 30-06-2018 | 7:09 AM

(News 1st) - මධ්‍යධරණි මුහුද හරහා යුරෝපයට ඇතුළුවීමට උත්සාහ කළ සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් ලිබියාවට එපිටදී මුහුදුබත් වීමෙන් පුද්ගලයින් 100 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් වාර්තාවන්හී දැක්වෙන්නේ මියගිය පුද්ගලයින් අතර කුඩා දරුවන් තිදෙනෙකු ද වන බව ය. යාත්‍රාව අනතුරට ලක් වනවිට එහි පුද්ගලයින් 120 දෙනෙකු සිට ඇති අතර මියගිය සංඛ්‍යාව තව දුරට ත් ඉහළ යා හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංක්‍රමණික ඒජන්සියේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. පුද්ගලයින් 16 දෙනෙකු අනතුරින් දිවි බේරාගෙන ඇති බව ද වාර්තා වේ. ඔවුන් පවසා ඇත්තේ සිය යාත්‍රාව තුළ පිපිරුමක් සිදුවීමත් සමගින් එය ගිනිගත් වූ බව ය. අනවසර සංක්‍රමණික අර්බුදය විසඳීම සඳහා යුරෝපා නායකයින් නව එකඟතාවකට පැමිණ පැය කිහිපයක් තුළ මෙම පුවත වාර්තා වීම විශේෂත්වයක් බව විදෙස් වාර්තා සඳහන් කළේය. මෙම වසර තුළ මධ්‍යධරණි මුහුද තරණය කළ අනවසර සංක්‍රමණිකයින් සිය ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර නව එකඟතාවට අනුව අනවසර සංක්‍රමණිකයින් මධ්‍යධරණී මුහුද ඔස්සේ යුරෝපයට ඇතුළුවීම වළක්වනු ඇති.