සිරසට කළ තර්ජනයට එරෙහි පෙත්සම විභාග කිරීමට පියවර

සිරස මාධ්‍ය ජාලයට තර්ජනය කිරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

by Staff writer 29-06-2018 | 4:02 PM

COLOMBO (News 1st) - සිරස මාධ්‍ය ජාලයට තර්ජනය කිරීම හා මාධ්‍ය නිදහසට බාධා කිරීමට එරෙහිව එම මාධ්‍ය ජාලය පවත්වාගෙන යන එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම සහ එම්.බී.සී නෙට්වර්ක්ස් පුද්ගලික සමාගම ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගත් පසුගිය අප්‍රේල් 04 වැනිදා රාත්‍රියේ සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට රතිඤ්ඤා පුපුරවා හරිමින් අදාළ තර්ජනය කිරීම සහ බාධා කිරීම් සිදුවිය. ඒ, සඳහා පිරිස් පැමිණියේ කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙනි. එම්.ටී.වී / එම්.බී.සී ආයතන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කළ කරුණු දැක්වීම සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ලබන වසරේ ජනවාරි 30 වැනිදා අදාළ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට තීරණය කළේය. ඒ පිළිබඳව අද සළකා බැලුණේ අගවිනිසුරු ප්‍රියදාස් ඩෙප්, සිසිර ද ආබෲ හා විජිත් මලල්ගොඩ යන විනිසුරු මඩුල්ල හමුවේදී ය.