මාතර සිද්ධියට සම්බන්ධ තවත් තිදෙනෙකු හඳුනා ගැනේ

මාතර සිද්ධියට සම්බන්ධ තවත් තිදෙනෙකු හඳුනා ගැනේ

by Staff writer 29-06-2018 | 8:17 AM
COLOMBO (News 1st) - මාතර ස්වර්ණාභරණ අලෙවි සල කොල්ල කෑමට පැමිණ පළා ගිය සැකකරුවන් 3 දෙනෙකු හඳුනාගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, ඒ අතර ප්‍රබල පාතාල සාමාජික හබරකඩ වසන්ත නමැත්තා ද වන බව ය. පොලීසිය හෝමගම හබරකඩ පිහිටි ඔහුගේ නිවස ඊයේ රාත්‍රියේ විශේෂ පරීක්ෂාවකට ලක් කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එහි තිබී රිවෝල්වරයක් සහ උණ්ඩ කිහිපයක් සිය භාරයට ගත් බව ය. එම ගිනිඅවිය මාතර ස්වර්ණාභරණ අලෙවි සල කොල්ල කෑමේදී සිදු වූ වෙඩි තැබීමට භාවිත කර ඇති බවට පොලීසිය සැක පළ කරයි. නිවස පරීක්ෂා කිරීමෙන් අනතුරුව හබරකඩ වසන්ත නමැත්තාගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඇය ඉදිරි විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දී තිබේ.