උදයංග වීරතුංග දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන්

උදයංග වීරතුංග දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව නීතීඥයින් අධිකරණයට දැනුම් දෙයි

by Staff writer 29-06-2018 | 11:05 AM
COLOMBO (News 1st) - මිග් යානා ගනුදෙනුවට අදාළ නඩුවට පෙනී සිටීම සඳහා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා අද අධිකරණයට දැන්වුවේ ය. ඒ, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ය. උදයංග වීරතුංග මහතා මේ වන විට ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන අද්මාන් ප්‍රාන්ත බන්ධනාගාරයේ රඳවා සිටින බව මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එබැවින් ඔහු මෙරටට පැමිණෙන්නේ නම් මෙරට නිලධාරීන් ගොස් ඔහු රැගෙන ආ යුතු බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ ය. මේ අතර මිග් යානා ගනුදෙනුවට සැක සහිත ලෙස මැදිහත් වූ බව කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකු වාණිජ බැංකු 7ක පවත්වාගෙන යන බැංකු ගිණුම් 40ක් පරීක්ෂා කිරීම සඳහා අධිකරණය අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අවසර ලබා දුන්නේ ය. තව ද මහ බැංකුව විසින් උදයංග වීරතුංග මහතාට අයත් බැංකු ගිණුම් තහනම් කිරීමෙන් දින 7කට පසු මෙරට වාණිජ බැංකුවක ඔහුගේ ගිණුමකින් රුපියල් තුන්කෝටි 57 ලක්ෂයක මුදලක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගිණුමක් වෙත යවා ඇති බව ද අධිකරණයේදී අනාවරණය විය නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අධිකරණ නියෝගයක් ලබා දී තිබියදී එලෙස මුදල් යවා ඇත්තේ කෙසේදැයි සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බව ය.