අතුරුදන්ව සිටි දීඝ දන්තු ගැන හෝඩුවාවක්

අතුරුදන්ව සිටි දීඝ දන්තු ගැන හෝඩුවාවක්

by Staff writer 29-06-2018 | 2:13 PM
COLOMBO (News 1st) - අතුරුදන්ව සිටි දීඝ දන්තු 01 හස්ථියා කහල්ල පල්ලේකැළේ රක්ෂිතයේ වෙරලාගල ප්‍රදේශයේ සිටින බව හඳුනාගෙන තිබේ. ඒ, වනජීවී නිලධාරීන් ක්‍රියාත්මක කළ මෙහෙයුම අතරතුර ය. කලා වැව අභය භූමිය ආසන්නේ ප්‍රතිකාර ලබමින් සිටි දීඝ දන්තු හස්ථියා සෙවීමේ මෙහෙයුමක් ඊයේ ආරම්භ කෙරුණේ කණ්ඩායම් 13 ක සහභාගීත්වයෙනි. ඒ අනුව කලා වැව අභය භූමියේ සිට හෙක්ටයාර 21690 ක් ඈතින් කහල්ල පල්ලේකැළේ රක්ෂිතයේ වෙරලාගල ප්‍රදේශයේ හස්ථියා සිටින බව ඔවුහු ඊයේ තහවුරු කර ගත්හ. මේ වන විට හස්ථියාට ප්‍රතිකාර කිරීම සඳහා පශු වෛද්‍යවරු 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ ස්ථානය බලා ගමන් ආරම්භ කර තිබේ. අලි - මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මෙම හස්ථියාගේ වම් පාදයට වෙඩි වැදී සිටියදී පසුගිය 11 වන දා සොයා ගැනුණේ ප්‍රදේශයේ ධීවරයින් කළ දැනුම් දීමකට අනුව ය. පසුව වයඹ හා අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ මහතා ප්‍රමුඛ වනජීවී නිලධාරී කණ්ඩායමක් හස්ථියාට ප්‍රතිකාර කිරීම ආරම්භ කළේ ය. හස්ථියා අතුරුදන් වූයේ, එලෙස ප්‍රතිකාර කෙරෙමින් පවතින අතරතුර ය. දීඝ දන්තු කලා වැව අභය භූමියේ සිටින දිගම දළ යුගලක් හිමි ඇතා ද වේ.