ලෝක ශූර ජර්මනිය පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට

ලෝක ශූර ජර්මනිය පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට

by Staff writer 28-06-2018 | 6:43 AM

COLOMBO (News 1st) - වත්මන් ලෝක ශූර ජර්මානු කණ්ඩායමට මෙවර ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදු විය.

ඔවුන් මෙලෙස ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මුලික වටයෙන් ඉවත් වූයේ ඉතිහාසයේ පළමු වරටයි. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ F කාණ්ඩයෙන් අවසන් 16 දෙනා අතරට සුදුසුකම් ලබා ගැනීමට හැකි වන තීරණාත්මක තරග දෙකක් රුසියාවේ කසාන් හා එකටරීන්බර්ග්හීදී පැවැත් විය. වත්මන් ලෝක ශූර ජර්මනිය හා දකුණු කොරියාව තරග වැදුනේ කසාන්හීදී යි. ජර්මනියට පහසු තරගයක් ලෙස බොහෝ දෙනා හැඳින් වූ මෙහි පළමු අර්ධයේදී දෙපිලටම ගෝල රැස් කර ගැනීමට අවස්ථාවක් හිමි වූයේ නැත. තරගයේ දෙවන අර්ධයේදී ආක්‍රමණශීලි ක්‍රීඩා විලාසයක් අනුගමනය කළ කොරියානු ක්‍රීඩකයින් ප්‍රතිවාදී ජර්මානු කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළේ ය. දෙවන අර්ධයේදී ද කිසිදු කණ්ඩායමකට ගෝල රැස් කර ගැනීමට නොහැකී වූ අතර අබාධ සඳහා ලබාදුන් අතිරේක කාලයේදී ක්‍රියාත්මක වූ කොරියාවේ කිම් යංවොන් සිය කණ්ඩායමට පළමු ගෝලය එක් කළේ ජර්මනියට තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට තිබූ අවස්ථාව දුරස් කරමිනි. එක් ගෝලයකින් තම සිහිනය රැකගත හැකිවීම හේතුවෙන් ජර්මානු ක්‍රීඩකයින් ගෝලයක් ලබා ගැනීමට ප්‍රබල උත්සහයක් දැරූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජර්මානු ගෝල රකින්නා ද කොරියානු අර්ධයේ ක්‍රීඩා කළේ ය. එම අවස්ථාවෙන් අනගි ප්‍රයෝජන ගත් කොරියා කණ්ඩායම ක්ෂණික දිගු පන්දු යොමු කිරීමකින්, සන් හෙග්මන් වෙත භාර දුන් අතර ඔහු ඉතා පහසුවෙන් පන්දුව ගෝල රකින්නා නොමැති වූ දැල වෙත යොමු කළේ ලෝක ශූර ජර්මනිය පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් කරමිනි. ඒ අනුව ගෝල 2 ට 0 ක් ලෙස දකුණු කොරියාව හමුවේ පරාජයවීම හේතුවෙන් ජර්මනියට ඉතිහාසයේ පළමු වතාවට මෙවර පළමු වටයේ තරග දෙකක් පරාජය වෙමින් ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදු විණි. ඔවුන් මෙලෙස තරගාවලියෙන් ඉවත්වීමත් සමග ලෝක කුසලාන පාපන්දු පිටිය තුළ ප්‍රචලිත ''ශූරයින්ගේ ශාපය'' නැවතත් අවධානයට ලක්ව තිබේ. ලෝක කුසලානය දිනා ගන්නා කණ්ඩායමකට ඉන් අනතුරුව පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී මූලික වටයෙන්ම ඉවත්වීමට සිදුවීම හඳුන්වන්නේ ''ශූරයින්ගේ ශාපය'' ලෙසයි. 2010 ලෝක ශූරයින් වූ ස්පාඤ්ඤයට 2014 වසරේදීත් 1998 ලෝක ශූරයින් වූ ප්‍රංශයට 2002 වසරේදීත්, 2006 ලෝක ශූරයින් වූ ඉතාලියට 2010 වසරේදීත් මෙලෙස ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදු විණි. කෙසේ වෙතත් සහභාගී වූ තරග තුනෙන් දෙකක් පරාජය වූ ජර්මනියට F කාණ්ඩයේ අවසන් ස්ථානය හිමි වූ අතර සහභාගී වූ තරග තුනෙන් දෙක බැගින් ජයගත් ස්වීඩනය හා මෙක්සිකෝව මෙවර තරගාවලියේ අවසන් 16 දෙනා අතරට සුදුසුකම් ලබා ගෙන තිබේ.