මහ බැංකුව චෝදනා ඉවත දමයි

by Staff writer 28-06-2018 | 8:10 PM

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු වෙනස් කරන ලදැයි, කරනු ලබන චෝදනා මුළුමනින්ම පදනම් විරහිත බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ 2007 වසරේ සිට දළ දේශීය නිෂ්පාදිතෙයේ ඇස්තමේන්තු සම්පාදනය කිරීමේ පූර්ණ වගකීම ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙට පැවරී ඇති බවයි. එසේ වුව ද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු වෙනස් කරන ලද බවට සාමාන්‍ය ජනතාව නොමග යවමින් ඇතැම් පාර්ශ්ව විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. 2006 වසර දක්වා ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව ද දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු සම්පාදනය කර ප්‍රකාශයට පත් කළ බව එම නිවේදනයේ සඳහන් ය. ස්වාධීන ආයතනයක් විසින් දත්ත සම්පාදනය කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් 2007 වසරේ සිට එම ඇස්තමේන්තු සම්පාදනය කිරීමේ පූර්ණ වගකීම ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වෙත පැවරෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව එම ක්‍රියාවලිය අත්හිටවු බව මහ බැංකුව පවසයි. ඔවුන් නිකුත්කළ නිවේදනයේ දැක්වුණේ, තවදුරටත් මෙම දත්ත පරිශීලනය කරන ප්‍රධාන ආයතනයක් ලෙස ඒවා ආර්ථික විශ්ලේෂණ සහ මුදල් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා යොදා ගැනීම පමණක් තමන් සිදු කරන බවයි. මහ බැංකුවේ නිවේදනය විමසා බැලීමේදී ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතුවේ. මෙය දත්ත සකස්කරන ජාත්‍යන්තර ක්‍රමය බව ඇතැම් විට එම දෙපාර්තමේන්තුව පැවසීමට ඉඩ තිබේ. නැගෙන චෝදනාවෙන් එක් එක් ආයතනය ලිස්සා යාම පසෙක තබා සාධාරණ විද්‍යානුකූල පැහැදිලි කිරීක් සිදුකිරීම වැදගත් නොවන්නේ ද? මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සම්බධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා නගන චෝදනාවලට මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නිවේදනයන් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වා තිබේ. එම නිවේදනය මගින් මහ බැංකු අධිපතිවරයා පවසන්නේ විශිෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු වන ආචාර්ය වීරසිංහ මහතා තම සේවා කලය තුළ කටයුතු කළ වසර දෙක තුළදී බැංකුවේ කාර්යයන්ට අදාළ ව සුවිශේෂී දායකත්වයක් සිදු කළ නිලධාරියෙකු බවයි. https://www.youtube.com/watch?v=mM790EaXstI