නිව් යෝර්ක් ටයිම්ස් අනාවරණයට හිටපු මහබැංකු අධිපතිගෙන් ප්‍රතිචාර ‍

by Staff writer 28-06-2018 | 7:29 PM
නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය පිළිබඳව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රතිචාර දක්වා තිබේ. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පසුගිය දා ශ්‍රී ලංකාව චීන ණය උගුලේ සිරවී සිටින ආකාරය ගවේෂණාත්මක වාර්තාවක් ලෙස පළ කර තිබිණ. අධික පොළියට ණය පහසුකම් ලබා දී පසුව රාජ්‍ය ව්‍යාපාර ඔවුන් යටතට ගන්නා ආකාරය මෙම ලිපියේ වාර්තා ක‍ළේ, හම්බන්තොට වරාය ව්‍යාපෘතිය උදාහරණයක් ලෙස පෙන්වමිනි. එම වරාය ව්‍යාපෘතිය සිදුකළ චීන සමාගම පසුගිය ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයට ඇමරිකානු ඩොලර් මිලියන 7 . 6 ක මුදලක් ද ලබා දී තිබූ බව නිව්යෝර්ක් ටයිම්ස් හෙළි කළේ ය. මෙම ලිපියට ප්‍රතිචාර දක්වමින් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ වාර්තාව පළ කළ මාධ්‍යවේදිනිය පූර්ව නිගමනයක සිට එය සකස්කර ඇති බවයි. මෙම කරුණු පිළිබඳව තමන් පැයක පමණ කාලයක් මාධ්‍යවේදිනියට පැහැදිලි කළ නමුත් ඊට සාධාරණ අවස්ථාවක් ලබා දී නැතැයි, කබ්රාල් මහතා චෝදනා කරයි. කෙසේවෙතත් ලිපියේ සඳහන් කරුණු පිළිබඳව අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ප්‍රතිචාරයෙන් කරුණු පැහැදිලි කර නොමැත. නිව්ස් ෆස්ට් කළ විමසීමකදී නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව සකස් කළ මාධ්‍යවේදිනී මාරියා අබී හබීබ් මහත්මිය ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නැගෙන චෝදනාවට ප්‍රතිචාර දැක්විය හැක්කේ ද ඔහුට පමණක් බවයි. රාජපක්ෂ මහතා සම්බන්ධ කර ගැනීමට විවිධ ක්‍රම මගින් උත්සාහ කළ ත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ඇය සඳහන් කළා ය. මාස දෙකක් තිස්සේ ප්‍රශ්න 10 ක් යවා පිළිතුරු අපේක්ෂා කළ බව ද මාරියා අබී හබීබ් මහත්මිය පැවසුවා ය. ඇය වැඩිදුරටත් සඳහන් කළේ, අවස්ථා ගණනාවකදී මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් හමුවීමට උත්සාහ කළ ද ඊට අවස්ථාවක් නොලැබුණ බවයි. මේ අතර එක් මාවතක් එක් තීරයක් නමින් චීනය ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති සමග කටයුතු කිරීමේදී ප්‍රවේශම් වන්නැයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අනතුරු අඟවා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවස්ථා කිහිපයකදී ම මෙම අනතුරු ඇඟවීම සිදුකළ අතර ආසන්න අවස්ථාව පසුගිය 20 වන දා සිදු කළේ, විස්තීර්ණ ණය පහසුකමට අදාළ සිව්වන ප්‍රගති සමාලෝචන වාර්තාව නිකුත් කරමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිව්වන ප්‍රගති සමාලෝචනයේ සඳහන් කර ඇත්තේ චීනයේ එක් මාවතක් එක් තීරයක් ව්‍යාපෘතියෙන් වාසි ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව තමන් සතු මහා පරිමාණ ව්‍යාපෘති ප්‍රවේසමෙන් කළමනාකරණය කළ යුතු බවයි. හම්බන්තොට වරාය හා කොළඹ වරාය නගර ව්‍යාපෘතිවලින් ශ්‍රී ලංකාවට වර්ධනයක් අත්කරදිය හැකි නමුත් රටේ අධික ණය බර හා සමාජ සංවර්ධන අවශ්‍යතා සලකා බලා මෙම ව්‍යපෘති ඉතා ප්‍රවේසමෙන් ක්‍රියාත්මක කළ යුතු බව එම අරමුදල පෙන්වා දෙයි. එහි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මිය පසුගිය අප්‍රේල් 12 වනදා චීනයේදී සමුළුවක් අමතමින් එක් මාවතක් එක් තීරයක් ව්‍යාපෘතිය පිළිබඳව අනතුරු ඇඟවීමක් කළේ ය. - උපුටා ගැනීම -
"එක් මාවතක් එක් තීරයක් ව්‍යාපෘතියට හවුල්කාර රටවලට අවශ්‍ය යටිතල පහසුකම් සඳහා මූල්‍ය සහය ලබාදිය හැකියි.නමුත් මේ ව්‍යාපෘතිවලින් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. විශාල ණය ප්‍රමාණයක් ඇතිකරල ඒ මගින් රටේ අනෙකුත් වියදම් සීමා කරනවා. මොකද ණය ආපසු ගෙවීම් වැඩිවෙනවා මොකද ගෙවුම් ශේෂයෙන් ඇතිවන අභියෝග මතුවන නිසා. දැනටමත් රාජ්‍ය ණය ප්‍රමාණය වැඩි රටවල් විශේෂයෙන් මූල්‍ය රෙගුලාසි ඉතා ප්‍රවේසමෙන් කළමනාකරණය කිරීම අත්‍යාවශ්‍යයි"
- උපුටා ගැනීම අවසන් - 2016 වසර අවසාන වනවිට අමරිකානු ඩොලර් බිලියන 4 . 6 ක් ශ්‍රී ලංකාව චීනයට ගෙවිය යුතුව තිබූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ඔවුන් නිකුත්කළ දත්තවලට අනුව එම අගය දළ දේශීය නිෂ්පාදනයෙන් 5.8%කි. කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වනවිට ශ්‍රී ලංකාවට විශාල ණය ප්‍රමාණයක් ලබාදී ඇති අතර අවසාන වශයෙන් ලබාදුන් ඩොලර් බිලියන 1.5 ක ණය මුදල වරින්වර මුදා හැරීම සදහා විවිධ කරුණු ඉදිරිපත් කළේ ය. නව විනිමය පනත, දේශීය ආදයම් පනත ඇතුළු නීති මගින් සිදුකළ ප්‍රතිසංස්කරණ මෙන්ම තෙල් හා විදුලිය සඳහා වන මිල සූත්‍රයද මූල්‍ය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා අනුව සකස්කළ බවට පසුගිය කාලයේ විවේචන එල්ල විය. මේ අතර ඊයේ ට්විටර් පණිවුඩක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේ, නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවේ බොහෝ අඩුපාඩු ඇති බවයි. ලෝකයේ ශීඝ්‍රයෙන් ආර්ථික වර්ධනයක් ළඟා කරගනිමින් සිටින චීනයට බටහිර රටවල්වල ඇති බිය මේ වාර්තාව නිකුත් කිරිමට හේතුව බව ඔහු සිය ටිව්ටර් පණිවුඩයේ සඳහන් කර තිබේ. https://www.youtube.com/watch?v=flsnjeG0lfc